Saturday, March 3, 2018

චන්ද කාලේ කතාවක් - 3

 

මම ටකරං කඩේ ආණමාළුවා එක්ක ෂියේට් එකක් ගහගෙන ඉන්න කොට කොරළ නිස්සංකයා ආතබූත කඩාගෙන ආවා 

" විට්‍ටර අයියා සුමින්ද මහත්තයා හාරතාසියට වෙඩි තියලා " ඌ කෑගහගෙන කිව්වා 

එම්බාම් කෝටියයි. සුමින්ද මහත්තයා හාරතාසියට වෙඩි තියලා. මට  හිතාගන්ඩවත්  බෑ. 

" මොකක්ද යකෝ වෙලා තියෙන්නේ ? මම කොරළ නිස්සංකයා ගෙන් ඇහුවා. 

" විට්‍ටර අයියා සුමින්ද මහත්තයා චන්දේ දාන්ඩ යනකොට හාරතාසියව ෆේස් ටු ෆේස් හම්බ වෙලා තියනවා. ඒ ගමන් සුමින්ද මහත්තයා හාරතාසියට ශොට් එක දීලා. ඌ එතනමයි. හාරතාසියගේ ගැන්සියේ එකෙක් සුමින්ද මහත්තට වෙඩි තියලා තියනවා. සුමින්ද මහත්තව ඉස්පිරිතාලේ ගෙනියලා " 

 සුමින්ද මහත්තය වැඩේ  අණාගෙන කියලා මට තේරුනා. මම හිතුවේ සුමින්ද මහත්තය හාරතාසියට සයිලන්ස් එකේ ගේම දෙයි කියලා. මට කොන්ත්‍රාත්තුව දුන්න නම් මම හාරතාසියට ඇඩ්රස් නැති වෙන්ඩ තියනවා.  මොනා කරන්ඩද සුමින්ද මහත්තයා මෝඩයි. සල්ලි උතුරණ කොට වැඩ වර්චස් කර ගන්නවා. 

 "අඩෝ කළු අජියගේ චැලිය අරගෙන වරෙං අපි සුමින්ද මහත්තය බලන්ඩ ඉස්පිරිතාලේ යමු " මම  මම කොරළ නිස්සංකයාට ඕඩර් එක දුන්නා. ඌ තෙරේස් නැන්දලාගේ ගෙවල් පැත්තට ගියා. 

"අඩෝ තෙරේස් නැන්දට  කියපං මම ඉල්ලුවේ කියලා " මම මම කොරළ නිස්සංකයාට කෑගහලා කිව්වා. 

කළු අජියා සුමින්ද මහත්තයාගේ කුඩු කේස් එකකට ඇතුලේ හිටියේ. වැඩේ ලාලිත්‍රය වණ කරගෙන අන්තිමට බෙල්ල ගියේ කළු අජියාගේ. මට ඌව බලන්ඩ විසිට් එකක්වත් දාන්ඩ බැරි උනා. 

ටකරං කඩේ ආණමාළුවා තක්බීර් වෙලා. 

" විට්‍ටර අයියා සුමින්ද මහත්තයා  කිරිමෙල් කේස් එකක් දාගෙන "  වගේ ඌ කියවනවා 

" රෙද්දේ  කිරිමෙල් කේස්  බං . ඕක සුමින්ද මහත්තයා ශේප් කරගනී. මට අස්පට් සුමින්ද මහත්තයා වෙඩි කාපු එක​. සුමින්ද මහත්තයා සෙත්තපොච්චි උනොත් අපි ඔක්කොටම බඩේ පාර " 

කොරළ නිස්සංකයා චැලිය අරගෙන ආවා. මම ඌත් එක්ක කෙලින්ම ඇද්දා ඉස්පිරිතාලෙට. අම්මටහුඩු ඉස්පිරිතාලේ ලඟ පොලිසිය කට කපලා. මම දැක්කා අනුර මහත්තයා. මම අනුර මහත්තයා ලඟට ගියා. 

සර් මට සුමින්ද මහත්තයා බලන්ඩ ඕනේ මම කිව්වා 

අනුර මහත්තයා දන්නවා මගෙයි සුමින්ද මහත්තයාගෙයි ජොයින්ට් එක​. 

" වික්ටර් එහෙනං ඉක්මනට උඩට ගිහිල්ලා එන්ඩ වැඩි වෙලා ඉන්න එපා " අනුර මහත්තයා කිව්වා. 

මම පොලිසියේ බුවාලා අතරින් කෙලින්ම සුමින්ද මහත්තයා හිටපු වාට්ටුවට ගියා. 

 සුමින්ද මහත්තයා ඇඳක හිටියා. වටේට පොලිසිය එක්ක ගැන්සි පොරවල්. මම ලඟට යන කොට ගැන්සි බුවාලා පොඩ්ඩක් එහා මෙහා වෙලා මට  ඇඳ ලඟටම යන්ඩ දුන්නා. උන් දන්නවා මගේ වැඩ ගැන​. මම හිතුවේ  සුමින්ද මහත්තයාට සුවාසේ කියලා. මහත්තයා හොඳට ආතල් එකේ ඉන්නවා. වෙඩි පාරක් කෑව බවක් වත් මට පෙනුනේ නෑ.  මට තේරුණා සුමින්ද මහත්තයා කරන්නේ රඟපෑම කියලා. ඒකත් එල වැඩේ. සුමින්ද මහත්තයා මාව දැකලා කිව්වා " වික්ටර් පොඩ්ඩක් අපේ වැඩ ටික බලා ගන්ඩ කියලා " මම ඔළුව වැනුවා. කළු අජියා නැති එකේ මහත්තයාගේ බිස්නස් පොඩ්ඩක් වාත වෙලා තිබුනේ. ඒ එක්කම ලොකු බොස් ආවා.  අපි එතන ඉන්න එක හරි නැති නිසා අපි ඔක්කොම මාරු උනා. 

මම ආපහු වත්තට එන කොට හවස් වෙලා. මම සුවාරිස් අයියගේ කඩේට ගිහින්  ප්ලේන් ටී එකක් ඉල්ලුවා. රෑට ආෂික් නානගේ කඩේට ගිහින් බාබත් පාරක් දාන්ඩ ඕනේ කියලා මම හිතුවා. 

"විට්ටර මල්ලී කේස් එක මහ තදේට ගිහිල්ලා තියනවා. දෙගොල්ලෝ වෙඩි තියාගෙන​. තව එකෙක්ටත් අසාද්‍යයි කියලා රේඩියෝ එකෙන් කිව්වා" සුවාරිස් අයියා ප්ලේන් ටී එක දෙන ගමන් කිව්වා. 

" ඒක තමයි සුවාරිස් අයියා සුමින්ද මහත්තයාට මළ පැන්නම කිසි දෙයක් හිතන්නේ නෑනේ. ඕක ලස්සනට කරගන්ඩ තිබ්බා අත පුච්චගන්නේ නැතිව " මම කිව්වා . 

අපි කතා කර කර ඉන්න කොට කාසයා ආවා. මට කාසයාව දිරවන්නේ නෑ. ඌ දෙපත් නයා. කාසයා පේමේ එක්කත් ඉන්නවා. කාසයා මාව දැකලා බයාදු විදිහට හිනා වෙලා  සුවාරිස් අයියා ගෙන් ගෝල්ලීෆ් එකක් ඉල්ලුවා. යකෝ බීඩි ගගහා හිටපු කාසයා දැන් ගහන්නේ ගෝල්ලීෆ්. පේමේ ඌට ටිකක් සලකනවා වගේ. සුමින්ද මහත්තය පේමේගේ ගැන්සියත් තියාගෙන ඉන්න එක මට ඇල්ලුවෙම නෑ. සුමින්ද මහත්තයා බ්ලාස් උනොත් පේමේ අනික් අත්තට පනිනවා. අපි වගේ බොක්කෙන් ඉන්න ගතියක් පේමේලාගේ නෑ. ඉස්සර පේමේලා හාරතාසියාලා එක්ක කප්පම් කේසුත් කරා. හාරතාසියාලා බොස් ලගෙන් කැපෙන කොට පේමේලා හාරතාසියාව හැළුවා. මේ වත්තේ ඉස්ටෝ‍රිය මම හොඳට දන්නවා. බබා ඥානෙලා ගැන්සි දාගෙන  හිටපු කාලෙත්  අපි ගේම් වල හිටියේ.  

කාසයා ගෝල්ලීෆ් එක අතට අරගෙන ගිනි පෙට්ටිය හොයනවා. ඌ මගේ ඇස් මඟ හරිනවා. මූත් කරන්නේ රඟපෑම​. කාසයා නම් මාරම මාර චාටර් එකා. ඌ ජීවත් උනේ එහාට මෙහාට කේලම් කියලා. නොදකිං හු.... පුතා. මට උගෙ හොම්බට දෙකක් දීලා අදින්න හිතුනා.  සුවාරිස් අයියාගේ කඩේ මූට ගහන එක හරි නැති නිසා මම එලියට බැස්සා. 

  සුවාරිස් අයියාගේ කඩේන් එලියට බහින කොටම පොට්ට සිරිල්. 

" විට්ටර මල්ලි ඔය ඉලැක්සන් කියලා ඔන්න ආයෙත් මරාගෙන නේද ? ඌ අහපි. මම මොකුත් කිව්වේ නෑ. "  මේ පාර හාල්මැස්සෝ බේරිලා තෝරු මොරු හැප්පිලා වගේ ඌ කියවනවා " 

 " මම ඕවා මොකුත් දන්නේ නෑ අද උදේ ඉඳං මම හිටියේ වත්තේ " මම පොට්ට සිරිල්ට කිව්වා. 

" විට්ටර මල්ලි තෝරු මොරු හැප්පිලා උන් හිරේ විලංගුවේ ගියත් උන් ජාම් බේරගන්නවා. හිරේදිත් උන්ට රජ සැප​. මේ දුප්පත් හාල්මැස්සෙක් හිරේ ගියොත් තමයි ඔක්කොම පෝරියල් " පොට්ට සිරිල් ඇස් එහාට මෙහාට පෝකස් කර කර කියනවා. 

 එක අතකට පොට්ට සිරිල කියන එකත් ඇත්ත. මට හිතුනා. මාත් ආණ්ඩුවේ බෝඩිමේ හිටියනේ. දුප්පත් අසරණ එවුන් හිරේදිත් අනාතයි. සල්ලි බලය තියන එකා කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලට. නීතියත් නැවෙන්නේ උස් මිටිකම් උඩ කියලා මට හිතුණා. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. //"අඩෝ කළු අජියගේ චැලිය අරගෙන වරෙං අපි සුමින්ද මහත්තය බලන්ඩ ඉස්පිරිතාලේ යමු // එඑච්චර කළු නැහැ කියල යාලුවෝ කියන්නේ හේ හේ
    මේ විට්ට්ර අර හැට්ටර් ගේ මල්ලිද

    ReplyDelete
    Replies
    1. විට්ට්ර අර හැට්ටර් ගේ මල්ලි

      Delete
  2. සිරිලක හැමදේම නැවෙන්නේ උස්මිටිකම් උඩ.සුළඟ පවා ... .....

    ReplyDelete
  3. නම් ගම් සියල්ල මනංකල්පිතයි ;-)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook