Wednesday, February 14, 2018

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා



කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
අසමසම වීණා වාදකයෙකු විය 
ඔහුගේ වාදනය දෙව්ලොවින් ආ ගීතයක් මෙනි 
සියළු දෙනා ඔහුගේ වාදනයට මන්මත්ව 
ඔහුගේ වාදනය පැසසූහ​

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාගේ
යසස සිව් දෙස පැතිරුනේය​
ඔහුගේ වාදනය ඇසීමට රජවරු පවා ආහ​
ඔහුගේ වාදනයට සවන් දෙන විට දෙව්ලොව 
මිහිරක් සියළුදෙනාටම දැනෙන්නේය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
පිළිබඳව ඇසූ යක්‍ෂයාට වීණා වාදකයාට 
අභියෝග කරන්නට සිත් දුන්නේය  
යක්‍ෂයා මිනිස් වෙසක් මවාගෙන 
ඔහු ඉදිරියේ පෙනී සිටියේය 

වීණා වාදකය මම යක්‍ෂයා වෙමි 
තොප මා සමග වීණා වාදනය කොට
මා පැරදුවේ නම් මම තොපට රනින් නිම කල 
වටිනාකම කිව නොහැකි අනර්ඝ වීණාවක්
දෙන්නමි කියා යක්‍ෂයා කීවේය 

එහෙත් වීණා වාදකය යම් ලෙසකින් 
තොප මා සමග වීණා වාදන තරඟයෙන්
පැරදුනහොත් තගේ ආත්මය මා සතු වන්නේය 
කියා යක්‍ෂයා කීවේය​

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
යක්‍ෂයාගේ අභියෝගය භාර ගත්තේය 
ඔහු යක්‍ෂයාට බිය නොවීය​
තමාගේ දස්කම් ගැන ඔහු දන්නේය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
මුලින්ම කන්කළු වීණා වාදනයක් ඉදිරිපත් කලේය 
එම සිත් ගන්නා නාදය ඇසූ සියතුන් 
කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
වටා පියාසර කළහ 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාට
නොදෙවෙනි වනු වස් යක්‍ෂයා තම බිහිසුණු
ඇඟිලි වීණාවේ තත් අතර යවමින් යක්‍ෂ රාවයක්
වාදනය කලේය 

යක්‍ෂයා වාදනය කල නිරයේ නාදය ඇසූ
සියොතුන් වහාම පළා ගියහ 
මිනිසුන් දෑත් වලින් තම කන් වසා ගත්හ 

මෙවර කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
ආදරණීය ස්වරයක් වාදනය කලේය 
ආදරවන්තයෝ මොහොතක් නිසොල්මන් වූහ 

ඊට පිළිතුරු වස් යක්‍ෂයා 
අවමංගල්‍යය නාදයක් වාදනය කලේය​
එය ඇසූ මිනිසුන් ශෝකයෙන් භරිත වූහ 
පයින් ගස් වලින් පත්‍ර කඩා හැළුනේය  

මෙලෙස කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාත්
යක්‍ෂයාත් බොහෝ වේලාවක් යන තෙක් වීණා වාදනය කළහ 
හිරු බැස ගියේය රාත්‍රිය එලැඹුනේය 
එහෙත් තරඟය නැවතුනේ නැත 

අවසානයේදී කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
යක්‍ෂයා දේවදූතයෙකු වූ කාලයේදී ඇළුම් කල 
පරාදීසයේ ගීතය නම් තනුව වාදනය කලේය 
එම තනුව ඇසූ යක්‍ෂයා තම අතීතය සිහිවී 
දුකින් පීඩිතව තව දුරටත් වීණා වාදනය කරනු නොහැකිව 
තරඟයෙන් පළා ගියේය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
අවසානයේදී යක්‍ෂයා පරාජය කොට 
තරඟයෙන් ජය ගත්තේය 

යක්‍ෂයා පොරොන්දු වූ පරිදි 
රනින් නිම කල වීණාවක් 
කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාට
තිළින කොට දුමක් සේ අන්තර්ධාන විය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
යක්‍ෂයා දුන් රනින් නිම කල වීණාව විකුණා 
සිටුවරයෙකු බවට පත් විය​
බොහෝ ඉසුරුමත් දිවියක් ඔහු ගත කලේය 
එහෙත් ධනවතෙකු වූ පසු ඔහු කිසි දින
තම වීණාව වාදනය කලේ නැත 

8 comments:

  1. අනාගතයේ දිනෙක ඔහුත් යක්ෂයෙක් වෙයිද ?

    ReplyDelete
  2. අපි හරියටම ඔය වගේමයි. නැතිබැරි කොට අපිත් විනව වගේ.සල්ලි ලැබිගෙන එනකොට යක්ෂයා වගෙ මුල මතක් වෙනවා හරියට.සල්ලි වැඩිවුනාම වාදකයා වගේ. ජිවිතෙට ලස්සන අරුථක් දෙන කථාවකි.ජය වෙවා

    ReplyDelete
  3. සත්‍යය එයයි. තම ඉලක්කය සපුරා ගත් පසු එහි අගය ගිලිහේ

    ReplyDelete
  4. //එහෙත් ධනවතෙකු වූ පසු ඔහු කිසි දින
    තම වීණාව වාදනය කලේ නැත //
    දැන් උෟ වීනා වාදන ප්‍්‍්‍්‍්‍රසංග බලන්න යනවලු සල්ලි ගෙවල.

    ReplyDelete
  5. Me wadya bandaye nama (BANDURAWA)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook