Saturday, July 30, 2016

A New Book on Collective Trauma “-PTSD in the Soviet Union”


Foreword: “PTSD in the Soviet Union” by Dr. Ruwan M Jayatunge M.D.

PTSD is short for ‘Post-Traumatic Stress Disorder’.  

When someone experiences an event which is unexpected and emotionally shattering it may continue to have serious effects on them long after any physical or other danger has passed. Persons with this kind of experience may relive the events that caused them intense fear and horror through flashbacks and nightmares, and they may become emotionally frozen. When they remain in this state for more than a month, their condition receives the medical diagnosis of Post-Traumatic Stress Disorder.   
Post-Traumatic Stress Disorder occurs in children as well as adults. It is a mental health disability that can become so severe that the individual finds leading a normal life difficult or perhaps even impossible. And especially so because it can have such serious consequences, which include suicide and addiction to dangerous substances.  Post-Traumatic Stress Disorder follows trauma such as serious physical injury especially when the resulting disability is permanent; witnessing people being hurt or killed; experiencing dangerous events; feeling horror, helplessness, or extreme fear; receiving little or no social or psychological support following the trauma; and dealing with extra stress after experiences such as loss of a loved one, pain and injury, or loss of a career, job or home. 
Post-Traumatic Stress Disorder creates serious challenges for military personnel injured in military service, and for other persons who in the course of their duties, activities and involvements are confronted by violence. Their challenges add to and complicate the challenges for their family caregivers and families.  
Dr. Jayatunge graduated from Ukraine’s Vinnitsa National Medical University and then joined the Ministry of Health of the Government of Sri Lanka. In Sri Lanka he worked closely with war veterans and civilians affected by war. He studied in considerable depth the impact of war-related post-traumatic stress disorder. He became one of the pioneers in the study of its psychosocial effects in Sri Lanka. He has written several books and published several research articles that recount the war trauma and its consequences in Sri Lanka.  Yet despite the cumulated, experience-derived knowledge relating to Post-Traumatic Stress Disorder, doubts about its reality still persist.
Dr. Jayatunge points out that the Soviet Union, from its foundation with the 1922 October Revolution to its dissolution in 1991, faced internal and external socio-political calamities that generated immense stresses among its population. But, he observes, little is known in the outside world about the psychological trauma experienced by the Soviet People. Which is why his exploration of the grim history of Post-Traumatic Stress Disorder in the Soviet Union is an important contribution to scientific and medical knowledge and why his work also provides powerful support for recognizing the troubling reality of Post-Traumatic Stress Disorder.

Dr Gordon Atherley M.D. , PhD   LLD, Honoris Causa, from Canada’s Simon Fraser University.


Friday, July 29, 2016

කෝස්ත්යා ගේ පියා



හිමෙල්නීස්කි නගරයේදී මට කෝස්ත්යා ගේ පියාව මුණ ගැසුනි. ඒ වන විට වැන්දඹුවකව සිටි ඔහු ශාරීරිකව දුබලය. නමුත් ඔහුගේ මතකය ඉතා තියුණුය​. මේ මහළු යූක්‍රේනියානු ජාතිකයා නට්සි ආක්‍රමණය නිසා ක්‍ෂිතිමය අත්දැකීම් ලැබූවෙකි. එහෙත් ඔහු ජර්මානුන්ට වෛර නොකරයි. 

ගෝවා යහමින් දැමූ බෝර්ෂ් සුප් කෝප්පයක් බොමින් මම ඔහුට සවන් දුන්නෙමි. කෝස්ත්යා පියාගේ කතාවට සවන් නොදෙයි. මේ කතාව සියවැනි වරටත් ඔහු අසා තිබෙනවා විය හැකිය​. නමුත් මේ මහල්ලාගේ කතාව මා අසා සිටියේ අභිරුචියෙනි. 

ජර්මානුන් දෙවන ලෝක මහ යුද්දයේදී යූක්‍රයීනය ආක්‍රමණය කල විට සමහරක් යූක්‍රයීන ජාතිකයන් පාන් සහ ලුණු පිරිනමා ජර්මානුන් පිලිගත්හ​. නමුත් සමහරක් පර්ටිසාන් භටයන් වී ජර්මානුන්ට එදිරිව සටන් කලහ​. සිවිල් ජනතාව මේ යුද්දයට මැදිව සිටියහ​. 

එවකට නව යෞවන වයසේ සිටි කෝස්ත්යා ගේ පියා ඇතුළු තරුණයන් පිරිසක් අතඩංගුවට ගත් නට්සීන් ඔවුන්ව ජර්මානියේ වහල් සේවය සඳහා පිටුවහල් කරන ලදි. කෝස්ත්යා ගේ පියා ජර්මානියේ රූර් ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක වැඩ කලේය​. ඔවුන් දිනකට පැය 18 පමණ කාලයක් වැඩ කලෝය​. අාහාර සඳහා ඔවුන්ට ලබා දෙන ලද්දේ කියත් කුඩු හා පිටි ස්වල්පයක් මිශ්‍ර කොට තනන ලද පාන් ය​. එසේම ආහාර ප්‍රමාණය ඉතා අවම විය​. මේ නිසා වසරක් ගත වන විට යූක්‍රේනියානු වහල් සිරකරුවන් ගෙන් භාගයකට වඩා මිය යන ලදි. සමහරු ඝාතනයටද ලක් වූ බව මහල්ලා පවසයි. 

කෙසේ නමුත් කෝස්ත්යා ගේ පියා පණ ගැට ගහ ගත්තේය​. යුද්ධය අවසන් වන තෙක්ම ඔහු ජර්මානුවන් ගේ වහල් සේවකයෙකු විය​. අවසානයේදී රතු හමුදාව ඔවුන්ව නිදහස් කරගෙන සෝවියට් දේශයට එවන ලදි. නිදහස් වී සෝවියට් දේශයට ආවද ඔවුන්ට නිදහසක් නොවීය​. ඉන් පසුව එන් කේ වී ඩී සෝවියට් රහස් පොලිසියේ දීර්ඝ ප්‍රශ්න කිරීම වලට ඔවුන්ව ලක් කරන ලදි. 

සෝවියට් යුද සිරකරුවෙකු ජර්මානුන් ගෙන් පළා ආවද සෝවියට් දේශයේදී ඔහු අපරාධකරුවෙකු ලෙස සලකනු ලැබීය​. සමහර සෝවියට් යුද සිරකරුවන් ජර්මානුන් තොග පිටින් මරා දමා යළි සෝවියට් දේශයට ආවද ඔවුන්ව වීරයන් ලෙස නොසලකන ලදි. ඔවුන් දෙස බලන ලද්දේ ඉතා සැකයෙනි. 

මිනිසෙකුගේ ඉරණම යන කෙටි කතාව ලියූ  මිඛායෙල් ශෝලෝහොව් රතු සොල්දාදුවෙකු වූ   අන්ද්රේ සකලෝෆ් ජර්මානු මේජර්වරයෙකු ජීවග්‍රහණයෙන්  අල්ලාගෙන සෝවියට් යුද සීමාවට පළා එයි. පසුව ඔහුට වීරත්වය සඳහා පදක්කමක් නිර්දේශ කරයි. එහෙත් මෙම කෙටි කතාව හිතළුවක් බව ඇලෙක්සැන්ඩර් සොල්ස්ත්සිනෙත්‍ෂින් පවසයි. තත්‍ය තත්වයන් යටතේ අන්ද්රේ සකලෝෆ් ට එන් කේ වී ඩී වෙතින් ලැබෙන්නේ උන්ඩයක් බවත් ඇලෙක්සැන්ඩර් සොල්ස්ත්සිනෙත්‍ෂින් පෙන්වා දෙයි.  
 
කෙසේ නමුත් බ්‍රෙශ්නෙව් යුගය වන විට කෝස්ත්යා ගේ පියා වැනි පුද්ගලයන් ගැන රාජ්‍ය තව දුරටත් චින්තාපර නොවේ. ශීත යුද සමයේ ඔවුන්ට නව සතුරන් සිටිති. මේ නිසා කෝස්ත්යා ගේ පියා පිරිහුණු කායික මානසික තත්වයෙන් යූක්‍රයීනයේ කුඩා නගරයක් වන හිමෙල්නීස්කි නගරයේ පදිංචි වේ. ඉන්පසු ක්‍රමක් ක්‍රමයෙන් යලිත් තම ජීවිතය ගොඩ නගා ගනියි. 

නටසි ජර්මනියේ වහලෙකු වූ ද ජර්මානියෙන් කිසිදු වන්දියක් ද නොලැබූ කෝස්ත්යා ගේ පියා අද දිනයේ ජීවතුන් අතර නැත​. එහෙත් ඔහුගේ කතාව ලෝකයා දැනගත යුතු නිසා මම එය ලේඛනගත කලෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, July 27, 2016

බාලදක්‍ෂයා

 

මම මුලින්ම පෝතක බාලදක්‍ෂයෙකු වූයේ 1974 වසරේදීය​. එවකට මා සිටියේ දෙකේ පන්තියේය​. බාලදක්‍ෂ අචාර්‍යවරු අප ආකේලා ලෙස හැඳින්වූයෙමු. අපට බාලදක්‍ෂ  විෂය ඉගැන්වීමට ගුණරත්න ආකේලා , ගුණපාල ආකේලා සහ විජේසිංහ ආකේලා වූහ​. මින් විජේසිංහ ආකේලා පසුව ඇමරිකාවේ පදිංචියට ගියාය​. මේ ආකේලාලාට අමතරව සෙනෙවිරත්න සර් ද වූයේය​. එසේම ප්‍රකට බාලදක්‍ෂ ආචාර්‍යවරයෙකු වූ මැල්කම් සර් ද වරක් ආවා මතකය​. 

පෝතක බාලදක්‍ෂයන් ලෙස අප මීරිගම බාලදක්‍ෂ පුහුණු කඳවුරට ගියෙමු. එසේම සර්වෝදයටද ගියා මතකය​. බාලදක්‍ෂ වැඩ සතියට අප කාණ්ඩ වශයෙන් නිවෙස් වලට ගොස් වැඩ  කර මුදල් උපයා දුන්නෙමු. 

ඉහල පන්ති වලට ගිය විට මම බාලදක්‍ෂයෙකු වූයෙමි. බාලදක්‍ෂයෙකු ලෙස මම වාර්ශික විහාර මහ දේවී උද්‍යානයේ පවත්වන කඳවුරු වලට මෙන්ම අතුරුගිරිය (1979) හැටන් (1981) ගාල්ල (1982) කඳවුරු මෙන්ම 1983 අනුරාධපුරයේ පැවති  ලෝක බාලදක්‍ෂ ජම්බෝරියටද සහභාගී වූයෙමි. 

1979 අතුරුගිරිය කඳවුර පවත්වන ලද්දේ ජනාධිපති බාලදක්‍ෂයෙකු වූ මිලින්ද පීරිස් ගේ නායකත්වයෙනි. ඔහු වර්තමානයේ යුද හමුදාවේ ජෙනරාල්වරයෙකි. 

1981  හැටන් කඳවුරට අප බාලදක්‍ෂයන් පස් දෙනෙකු දුම්‍ රියෙන් හැටන් වෙත ගොස් තේ වත්තක කඳවුරු ගැසුවෙමු. තනිව ඉවීම් කරන ලද්දේ අප විසිනි.  තනිව තමන් ගේ වැඩ කර ගැනීමට අප පුහුණු වූයෙමු. එසේම අප පා ගමනින් නෝටන් බ්‍රිජ් වෙතද ගියෙමු. එකල අට වසරේ සිටි අප නන්නාඳුන පළාතකට ගොස් කඳවුරු දිවිය ගත කිරීම අද කාලයේ ළමුන්ට කල හැකිද කියා මම සිතමි. 

1982 ගාල්ල කඳවුර පවත්වන ලද්දේ රිච්මන්ඩ් විද්‍යාලයට අයත් වූ රජෙස්කන්ද නම් ස්ථානයේ ය​. අපට උපකර සඳහා රිච්මන්ඩ්  විද්‍යාල බාලදක්‍ෂයන් ද ආහ​. මින් එක් බාලදක්‍ෂයෙකු වූ නීලාංග ලියනගේ අද දිනයේ ඇමරිකාවේ ප්‍රකට   විශේෂඥවරයෙකි. මෙම කඳවුරෙන් පසුව අප පිලියන්දල මධ්‍ය  මහා විදුහලේ තිබූ කඳවුරකටද සහභාගි වී කඳවුරු දෙකකට සහභාගි වීමේ වාර්තාවක් තැබුවෙමු.      
1983 අනුරාධපුරයේ පැවති  ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට චීනයෙන් , නේපාලයෙන් , ඉන්දියාවෙන් බාලදක්‍ෂයන් සහභාගි වූහ​. මෙම ජම්බෝරියේදී මට ආනන්ද විද්‍යාලයේ බාලදක්‍ෂයෙකු වූ කුසල් මෙන්ඩිස් හමු විය​. කුසල් වර්තමානයේ සම්පත් බැංකුවේ පරිගණක නිලධාරියෙකි. ඒ කාලයේ දී අප කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවෙන් පැමිණි බාලදක්‍ෂයෙකු ලෙස හඳුන්වා දුන්නෙමු. කුසල් ගේ කාල වර්ණ බවත් බොකුටු කොණ්ඩයත් නිසා ඔහු දකුණු අප්‍රිකාවෙන් කියා බොහෝ දෙනෙකු  සිතූහ​. පසුව කුසල් සිංහලෙන් කතා කොට තම අනන්‍යතාව ඔප්පු කරන ලදි. 

බාලදක්‍ෂ ජීවිතය අර්ථ සම්පන්නය. එය ජීවිතයට එලදායි අන්දමින් බල පවත්වයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, July 26, 2016

ද්නේපර් ගඟ දිගේ සවාරියක්

 


ග්‍රීෂ්ම සෘතුවක නිවාඩු කාලයක යූක්‍රයීනයේ ද්නේපර් ගඟ දිගේ සවාරියක් යාමට මමත් ශාන්ත කුලසේකරත් , කීව් නගරයේ ඩීන් අයියාත් , බන්දුල පට්ටියගේත් ජයන්තත් කතා කරගත්තෙමු. තවත් සිසුන් මේ සවාරියට එන බව කීවත් අවසානයේ සිටියේ ස්වල්ප දෙනෙකි. නමුත් ඉන් අපේ විනෝදයට හානියක් නොවූයේය​.  

අප මුලින්ම මෝටර් බෝට්ටු හිමියෙකුට කතා කොට ගඟ දිගේ සවාරියක් යාමටත් ගඟ මැද කුඩා දූපතක කඳවුරු ඉදි කිරීමටත් කතිකා කර ගත්තෙමු. ඩීන් අයියා මිත්‍රයෙකුගෙන් ඉල්ලාගත් විශාල මිලිටරි ටෙන්ට් එකක් ගෙනාවේය​. ශාන්තත් ඔහුගේ පෙම්වතිය වූ නිලන්තීත් කෑමට අවශ්‍ය හාල් තුනපහ , වියළි ආහාර මෙන්ම උයන පිහන භාන්ඩද ගෙනා අතර අවශේශ  අප ඒ .ඩ්බ් .ඩ්බ් හෙවත් අත වන වන ආවෙමු. නමුත් අප මේ අයට විනෝදය සැපයූයෙමු. 

අදාල දිනයේදී අප කීයෙව් දුම්‍ රිය ස්ථානයේදී හමු වූයෙමු. ඉන්පසු ද්නේපර් නදියේ තොටුපළකට ගොස් මෝටර් බෝට්ටුව එන තෙක් සිටියෙමු. 

ද්නේපර් ගංගාව යූක්‍රයීනයේ විශාලම ගංගාව වන අතර එය තෙවැනි වන්නේ යුරෝපයේ විශාලතම ගංගාව වන ඩැනියුබ් නදියටත් වොල්ගා ගංගාවටත් පමණි.  ද්නේපර් ගංගාවේ දිග කිලෝ මීටර් 2,285 කි.  ද්නේපර් ගංගාව ගැඹුරුය​. එහි නැව් පවා යති. මෙසේ ගලාගෙන යන  ද්නේපර් නදිය කළු මුහුදට එක්වේ. 

මෝටර් බෝට්ටුව පැදවූයේ යූක්‍රයීන තරුණයෙකි. අර්ධ රුසියන් බසින් කතා කල ඔහු අපව ද්නේපර් නදිය ඔස්සේ ගෙන යාමටත් පසුව ජන ශූන්‍ය කුඩා දූපතකට ගොඩබැස්ස වීමටත්  පොරොන්දු විය​. ඒ සඳහා අප ඔහුට ගෙවීම් කලෙමු. 

 අප සියළු දෙනා නංවාගත් තරුණයා විශාල මෝටර් බෝට්ටුව පැදවූයේ වතුර දෙබෑ කරමිනි. අප කිසිවෙකුට ජීවිතාරක්‍ෂක කබා නොවීය. සාන්ත ජෝසෆ් විද්‍යාලයේ ටෙම්ප්ලර් සහ අබේදාස යන පිහිනුම් ගුරුවරුන් ගේද පසුව ඔලිම්පික් පිහිනුම් උපදේශකයෙකු වූ සේන් මහතාගෙන් ද පිහිනීමේ ගුරුහරුකම් ලැබූ මා නදී ජලයට බිය නොවූයෙමි. එහෙත් අන්‍යන් පිහිනීමට දන්නවාද කියාමම නොදත්තෙමි. මේ තරුණ කාලයේ බරපතල භාවයක් නොබලා කරන ක්‍රියාය​. එහෙත් අප වාසනාවන්ත වූයෙමු. 

අපගේ මෝටර් බෝට්ටුව නදියේ යාත්‍රා කරන විශාල නැව් බත්තල් අතරින් ඇදී ගියේය​. අප නැව් වල සිටි මිනිසුන්ට අත වැනුවෙමු. මෙසේ දෙපැයක් පමණ ගඟ දිගේ ගිය අප සවස් වන විට ජනශූන්‍ය දූපතකට ගොඩ බැස්සෙමු. ඉන්පසු අපගෙ කළමනා ගොඩට ඇද රාත්‍රිය ගත කිරීමට විශාල ටෙන්ට් එක සවි කලෙමු. ඒ අතරවාරයේ ශාන්ත බෝට්ටුකරුවාට මුදල් දී තව දෙදිනකින් දූපතට එන ලෙස දැන්වීය​. ඔහු අපෙන් සමුගෙන ගියේය​. 

කඳවුර ගොඩ නංවා අප දර ලිපක් සාදා බත් ඉවුයෙමු. එසේම සැමන් ටින් කඩා සැමන්, මාළු මිරිස් සහ ලූණු සම්බෝලයක් සෑදුවෙමු. නිලන්තී කහ වැඩිපුර දමා පරිප්පුවක් ඉව්වාය​. ඒ අතරවාරයේ කොල්ලෝ කොන්‍ යැක් බෝතලයක් ඇර පාළු දූපතේ පාළුව මකා ගත්හ. 

ඩීන් අයියා නඩයේ නායකයා විය​. ඔහු ශාන්තට සහ නිලන්තීට කුඩා  ටෙන්ට් එකක් ද කොල්ලන්ට විශාල ටෙන්ට් එකක් ද ගෙනැවිත් තිබුනේය​. අප ගිණිමැලයක් ගසා  වටයට වාඩිවී ප්ලාස්ටික් පිඟන් වලට බත් සහ මාළුපිණි බෙදාගෙන කෑවෙමු. කෑම කන විට මට බාලදක්‍ෂ ජීවිතය මතක් විය​. 

රාත්‍රී ආහාරයෙන් පසු අඳුර මැකීම සඳහා අප ගිණිමැලය විශාල කලෙමු. ඉන්පසු ගීත ගයමින් බන්දුලට කාඩ් ගසමින් විනෝද වූයෙමු. මෙසේ පැය දෙක තුනක් යන විට නිදිමත දැනුනු අය නිදා ගැනීමට ගියහ​. මමත් ජයන්තත් 
නින්දට පෙර පොඩි ස්විම් එකක් ගනු පිණිස අඳුරේම ගස් ගල් වල හැපෙමින් ගඟ දෙසට ගියෙමු. 

එය උනුසුම් රාත්‍රියකි. ග්‍රීෂ්ම සෘතුව නිසා ගංගා ජලයද උනුසුම් විය​.  අප එහා කොන පෙනෙන නොපෙනෙන විශාල ගංගාවේ පිහිනුවෙමු.  මෙසේ පිහිනන විට මට ජෝස් චිත්‍රපටය මතක් විය​. දිය යටින් විශාල මත්සයෙක් ආවේ නම් අප ඌට ගොදුරු වේද යන කුකුස මා තුල ඇති විය​. එහෙත් ද්නේපර් නදියේ කිඹුලුන් හෝ මෝරුන් නොමැති බව මට සිහිපත් විය​. 

අප දෙපැයක් පමණ පීනා ගොඩට ආවෙමු. හාත්පස අඳුරය​. එහෙත් ඈතින් පෙනෙන ගිනි මැළය අපට දිශාව කීවේය​. අප ඒ දෙසට ගියෙමු. පිරිස ගොරව ගොරවා නිදිය​. මම ගිනි මැළයට තවත් දර කොටයක් දමා ටෙන්ට් එකට ගියෙමි. ඩීන් අයියා , බන්දුල ආදීන් රබර් ටෙන්ට් පොලවේ ඇඳ ඇතිරිල්ලක් අතුරා නිදාගෙන සිටියහ​. 

මම බන්දුල පොරවාගෙන සිටි බෙඩ් ෂීට් එක සෙමින් ගත්තෙමි. ඒ සමගම අනෙක් ඇළයට හැරුණු බන්දුල ශබ්දයක්  නගා වාතයක් ඇරියේය​. මමත් 
ජයන්තත් හිකි හිකි ගා සිනාසෙමින් බන්දුලට බොහෝ ඈත්වී නිදාගත්තෙමු. ඒ අතරවාරයේ ඩීන් අයියා ගොරවන්නට විය​. කෙසේ නමුත් ගංගාවේ පිහිනා වෙහෙසී සිටි අපට නින්ද ආවේය​. 

මධ්‍යම රාත්‍රියේ මට ඇහැරුනේ මදුරුවන් කෑම නිසාය​. මම නැගිට ගිනි පෙට්ටිය ගෙන ගිනි කූරක් ගැසුවෙමි. ටෙන්ට් එක පුරවා මදුරුවන් ය​. මේ මදුරුවෝ අසල වනයේ සිට තොග ගනනේ පියාඹා අප කරා ආවෝය​. මෙකී කාලකන්නි මදුරුවන් නිසා මට නිදා ගත නොහැකි විය​. මම ගිනිමැළය  අසලට ගියෙමි. තවත් වියළි දර දමමින් ගිනිමැළය විශාල කලෙමි. රස්නය සහ දුම නිසා මදුරුවන් ගිණිමැළය  අසලට ආවේ නැත​. මම මදුරුවන් කෑම නිසා සමේ පළු දැමූ ස්ථාන කැසුවෙමි. 

මම  ගිණිමැළය අසල හිඳගෙන දැවෙන දර දෙස බලා සිටියේ කෙසේ හෝ රාත්‍රිය නිම වෙනු ඇතැයි අපේක්‍ෂාවෙනි. මම ගිණිමැළය අසලට පැමින අඩ පැයක් ගත වෙත්ම අනෙකුත් අයද සෙමෙන් සෙමෙන් ගිණිමැළය අසලට ආවේ මදුරු කරදරය නිසාවෙනි. එහෙත් ශාන්තත් නිලන්තීත් සිටි ටෙන්ට් එක වැසිය හැකි වූ නිසා ඔවුන් සුවසේ නිදාගෙන සිටියහ​. අප ගිණිමැළය වටා හිඳගෙන මදුරුවන්ට බනිමින් උදෑසන හිරු පායනතෙක් සිටියෙමු. 

අරුණළු  ගලා එත්ම මදුරුවෝ වනයට පියඹා ගියහ​. එහෙත් නින්ද කැඩී සිටි අප තණ බිස්සේ වැතිර නිදා ගත්තෙමු. මට ඇහැරුනේ ශාන්ත විසින් මට ගැසූ වතුර බාල්දියක් නිසාය​. ශාන්ත ගේ අත්තාට මුත්තාට බනිමින් මම තෙත ඇඳුම් සමග නැගිට්ටෙමි. 

නිලන්තී උදෑසන ආහාරයට නූඩ්ස් සදා තිබුනාය​. අප නූඩ්ස් සහ රාත්‍රියේ ඉතිරි වූ සැමන් සම්බෝලය කෑවෙමු. ඉන්පසු ගඟට ගොස් පීනමින් විනෝද වූයෙමු. 

දහවල් ආහාරය අප ගත්තේ බොහෝ සවස් වීය​. බත් හා  බැද වියලා ගත් කුකුල් මස් වලින් දිවා ආහාරය සමන්විත විය​. මේ අතර රාත්‍රී ආහාරයට මාළු ඇල්ලීමට බන්දුල හැට්ට කට්ටකට පණුවෙක් අමුනා එයට නූලක්  සම්බන්ධ කොට ගඟට බැස සිටියේය​. ඒ අතර මමත් ඩීන් අයියාත් අද රාත්‍රියට අපව ආක්‍රමණය කරන මදුරු සේනාවට මුහුණ දෙන්නේ කෙසේද කියා සාකච්ඡා කලෙමු. 

අප කටු ඇල්පනිති ගෙන අපගේ ටෙන්ට් එකේ කට වසා දැමුවෙමු. එසේම ටෙන්ට් එක ඉදිරිපිට දර එකතු කොට රාත්‍රිය වෙත්ම ගිණිමැළයක් ගැසීමට සූදානම් වූයෙමු. ඒ අතරවාරයේ නිලන්තී බෙලෙක් කෝප්ප වලට කහට තේ ගෙනාවාය​. අප සීනි කැට කමින් තේ බීවෙමු. මේ අතර කැලෑව අස්සට එළි බසින්න ගිය ශාන්ත විශාල දර කොටයක් ගෙන ආවේය​. අප ශාන්තට "මඩ පුවක් ගඳයි " කියා තව වරක්ග ඟට ගොස් පස්ස හෝදාගෙන එන ලෙස කීවෙමු. 

රාත්‍රී ආහාරය සූදානම් කිරීමට නිලන්තී ලෑස්ති වූවාය​. හාල් ලිපේ තැබූ ඇය වියලී ගිය එළවලු යොදා හොද්දක් සෑදුවේ සැමන් කෑමට බැරි බව මා කී නිසාය​. මාළු ඇල්ලීමට ගඟට ගිය බන්දුල මාළු සමග ආ විට ඒවා ගින්නෙන් පළහා කෑ හැකි බව මම කීවෙමි. 

බත් ඉදීගෙන එන විට බන්දුල ආවේය​. " කෝ මාළු?  කියා අප ඇසුවෙමු. මාළු නැත​. බන්දුල ආවේ හිස් අතිනි. අප බන්දුලව බයිට් එකට ගනිමින් රාත්‍රී ආහාරය ගත්තෙමු. ඉන්පසු ටෙන්ට් එක වටා ගිණිමැළ ගසා ටෙන්ට් එකේ විවෘතව ඇති කොටස කටු වලින් වැසුවෙමු. මේ නිසා මදුරුවන්ට ටෙන්ට් එක තුලට ඒමට නොහැකි විය​. 

එදින රාත්‍රියේ අප සුවසේ නිදාගත්තෙමු. පසු දින අපව ගෙන යාමට බෝට්ටුකරු එන දවසය​. අප උදෑසන ආහාරය ගෙන වලං සෝදා බඩු අස්කර ගෙන ඔහු එනතුරු සිටියෙමු. සවස් වන තෙක් සිටියද ඔහු ආවේ නැත​. අපගේ ආහාර ගබඩාව අවසන් වෙමින් තිබුනි. මේ නිසා ඔහුගේ පැමිනීම අප අපේක්‍ෂා කලෙමු. එහෙත් අඳුර වැටුනද බෝට්ටුවේ ශබ්දයක් නැත​. 

" වේසිගේ පුතා අපිට කණුව තිබ්බා " කෝපවූ ඩීන් අයියා කීවේය​. අප බෝට්ටුකරුට දොස් දෙවොල් තබමින් රාත්‍රී නින්දට ගියෙමු. පසු දින දහවල වන තෙක් බලා සිටියද බෝට්ටුකරු ආවේ නැත​. 

අප පාළු දූපතක කොටුවී සිටින්නෙමු. ඈතින් නැව් බෝට්ටු ගියද ඔවුන්ට අපගේ හඞ ඇසෙන්නේ නැත​. එකිනෙකා තුල බිය සංකාව තිබුනද කිසිවෙකු එය පෙන්වූයේ නැත​. අපගේ ආහාර ගබඩාව අවසන් ය​. තව තිබෙන්නේ බිස්කට් පෙට්ටි කීපයකි. ඒවා පසු දිනට තබාගෙන අඩක් නිරාහාරව නින්දට ගියෙමු. 

රාත්‍රිය පුරා මම  බාලදක්‍ෂයෙකු ලෙස මේ අවස්ථාවට මුහුණදී දූපතෙන් ගැලවී යන්නේ කෙසේද කියා කල්පනා කෙරුවෙමි. දූපතේ තිබෙන විශාල ගස් පෙරලා ගත්තේ නම් පහුරක් සාදාගෙන යාමට තිබුනි. එහෙත් පොරවක් හෝ නැති අප අත තිබුනේ පාන් කපන පිහිය පමණි. 

පසු දිනට පහන් විය . අප දින ගනනාවක් මේ පාළු දූපතේ සිරවී සිටින්නෙමු. ශාන්තගෙන් බෝට්ටු ගමනට එකවර මුදල් ගත් බෝට්ටුකරුට දැන් අප අමතකය​. එහෙත් කණ්ඩායමේ මොරාල් එක අනර්ඝය​. පිරිස තවමත් විහිළු තහළු කරමින් බෝට්ටුකරු ගේ මව් ගුණ ගයමින් සිටිති. 

උදෑසන ආහාර ලෙස බිස්කට් කීපයකුත් කහට තේ එකකුත් ලැබුණි. මම තේ එක බොන ගමන් කල්පනා කලෙමි. 

බන්දුල අපි යමු. මම බන්දුල අමතා කීවෙමි. කිසිදු අරමුණක් නොමැතිව ඔහු මා පසුපස ආවේය​. මම දූපතේ එහා පැත්ත වෙත කැළය හරහා ගමන් කලෙමි. බන්දුලද මා සමග ගමන් කරමින් කරන්නේ කුමක් ද කියා ඇසීය​. එහෙත් මම පිළිතුරු නොදුන්නෙමි. ඒ මා සතුව ස්ථිර පිළිතුරු නොතිබූ නිසාය​. 

පැයක් පමණ කැලෑව අස්සෙන් ගමන් කොට අප දෙදෙනා දූවේ එහා කොනට ආවෙමු. ගංගාව ආසන්න වෙත්ම ඈතින් යන බත්තලක් මම දුුවෙමි. මමත් බන්දුලත් කමිස ගලවා වනමින් ඔවුනට කෑගැසුවෙමු. එහෙත් ඔවුන් අප දුටුවේ නැත​. අප දෙදෙනා තවත් දෙපැයක් පමණ ගංතෙර සිටියෙමු. 

" අන්න බෝට්ටුවක් "  බන්දුල පෙන්වීය මිනිසෙක් ඈතින් බෝට්ටුවක හබල් ගාමින් යයි. 

" බන්දුල මම බෝට්ටුවට පීනනවා මෙතනම ඉන්න කියා මම ඈත බෝට්ටුව දෙසට පීනුවෙමි. විනාඩි විස්සක් පමණ පිහිනීමෙන් පසු මම බෝට්ටුවට ලඟා වූයෙමි. 

"අපිට හදිස්සියක් ඔබගේ උපකාරය අවශ්‍යයි"  මම කීවෙමි. මිනිසා මාව බෝට්ටුවට ගත්තේය​. 

" අපි කෑම්පිං වලට දූපතට ආවා අපිව දූපතට ගෙනාපු බෝට්ටුව මඟ ඇරුනා අපි එක්ක ඉන්න ගෑණු ළමයෙක්ට අසාධ්‍යයි ඇයව ඉස්පිරිතාලෙට ගෙන යාමට අපිව එගොඩට දමන්න"  කියා මම බරපතළ තත්වයක් මවා කීවෙමි.  අප සිටි හදිසි තත්වය නිසා ඔහු අපව එගොඩට  ගෙන යාමට එකඟ විය​. 

මාවත් බන්දුලවත් අසීරුවෙන් කුඩා බෝට්ටුවට ගොඩ කරගත් ඔහු කඳවුර ඉස්සව්වට දූපත වටෙන් ගොස් ඉවුරට ලඟා විය​. 

" කෝ රෝගියා ? ඔහු ඇසුවේය​.

ඒ වෙලාවේ නිලන්ති සිටියේ කරක් වට දියේ බැස විශාල රබර් බෝලයකින් කට්ටිය සමග සෙල්ලම් කරමිනි. බරපතල තත්වයකදී වූවද ඔවුන් මෙසේ විනෝදයෙන් සිටීම හොඳය. එහෙත් අමුත්තා ඉදිරියේ ලෙඩ චරිතයක් නිලන්තී පෙන්විය යුතුය​. 

මම නිලන්තීට   අවශ්‍ය චරිතය ගැන උපදෙස් සෙමෙන් සිංහල භාෂාවෙන් දුන්නෙමි. නිලන්තී ගොඩට ආවාය​. 

බෝට්ටුව කුඩාය වරකට යා හැක්කේ හබල්කරු ඇරුණු විට දෙදෙනෙකුට පමණි. අප මුලින්ම නිලන්තීත් ශාන්තත් පිටත් කලෙමු. ඔවුන් දෙදෙනා එගොඩට යාම ශක්තියකි. ඉන්පසු ඔවුනට අපව ගැනීමට පුලුවන. 

කරුණාවන්ත බෝට්ටුකරුවා නිලන්තීත් ශාන්තත් එගොඩ දමා අපවද ගෙන යාමට ආවේය​. දෙවන වර බන්දුලත් ජයන්තත් අප පිටත් කලෙමු. බෝට්ටුකරුවා වෙහෙස නොබලා හබල් ගාමින් තෙවන වර මාවත් ඩීන් අයියාත් ගෙන යාමට ආවේය​. 

ඔහු දයාන්විත මිනිසෙකි. තමා කීව් විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු අංශයේ ආචාර්‍යවරයෙක් බව කීවේය​. නිවාඩු නිසා මාළු කූරියන් කීප දෙනෙකු අල්ලා ගැනීමට ආ බවත් අප සිටි තත්වය නිසා ඒ අදහස දැන් අත් හරින බවත් කීවේය​. 

ඔහු බොහෝ වේලාවක් හබල්ගෑ නිසා මම හබල ඉල්ලුවෙමි. එහෙත් මේ ශක්තිමත් මිනිසා වෙහෙස අමතක කොට ඔහු විසින් පබැඳූ කවි අපට කීවේය​. මෙසේ පැයක් පමණ හබල් ගා ඔහු මාවත් ඩීන් අයියාවත් එගොඩ කලේය​. පිරිස අප දෙදෙනාව දැක ප්‍රීති ඝෝෂා පැවැත්වීය​. අප සියළුදෙනා අපගේ ගැලවුම්කරුවාට ස්තූති කලෙමු. මේ කළ උපකාරයට ඔහු මුදල් ගන්නේ නැත​. එහෙත් අප ශ්‍රී ලාංකිකයෝ වෙමු. උපකාරයට ප්‍රති උපකාරයක් කල යුතුය​. 
ඩීන් අයියා ලඟ තිබූ ශ්‍රී ලංකා තේ පැකැට්ටුව අප ඔහුට දුන්නෙමු. එම තිළිනය ඔහුට වටී. 

කරුණාවන්ත මිනිසාගෙන් සමුගත්  අප බස් රථයක නැග තොටුපළක් වෙත ගියෙමු.  එම තොටේ හුවර්ක්‍රාෆ්ට් යානයක් විය​. අප කීව් නගරයට ජලයෙන් යාමට  ටිකට් ගත්තෙමු. හුවර්ක්‍රාෆ්ට් යානය පැයක් ඇතුලත අපව කීව් නගරයට ගෙනාවේය​. ඉන් පසු අපි විසිර ගියෙමු. එදා රාත්‍රිය ශාන්තගේ නවාතැනේ ගත කල මම පසු දින ඉලෙක්ට්‍රික් දුම්රියේ නැගී විනිට්සා නගරයට ගියෙමි. 

 පසු සටහන ; මේ චාරිකාව අප කලේ 1989 වසරේදීය​. මේ වන විට වසර 27 ගෙවී ගොසිනි. මේ කාලය තුල බොහෝ වෙනස්කම් සිදුවී තිබේ. ශාන්ත කුලසේකරත් නිලන්තීත් දැන් දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වෙති. බන්දුල එංලන්තයේය​. ජයන්ත කොහේ සිටිනවා දැයි මම නොදනිමි. රුසියන් කාන්තාවක් විවහා කරගෙන දෙදරු පියෙකුව කීව් නගරයේ ජීවත් වූ ඩීන් අයියාගේ බිරිඳද එක් දරුවෙක්ද රෝගාතුරව මිය ගිය බව මට දැනගන්නට ලැබුනි. දයාබර මිනිසෙකු , හිත හොඳ යහලුවෙකු වන ඩීන් අයියාට සිතේ ශාන්තිය ඇතිවේවා කියා මම නිතර පතන්නෙමි. 

මේ නදී සවාරිය විකාර ගමනකි. එය සිදු වූයේ සැලසුම් සහගතව සහ නිසි අවදානම්  තක්සේරුවකින් නොවේ. ඒ කාලයේ වයස විසි ගනන් වල සිටි අපට අවදානමද විනෝදයක් වූයේය​. එහෙත් අප එම දූපතේ සිටි කාලය ජීවිතයේ අමරණීය සිහිවටනයකි. මිත්‍රත්වය , සහයෝගී බව , අනෙකා වෙනුවෙන් කැපවීම මේ චාරිකාවෙන් අප ලැබූ අත්දැකීම් වේ. 







බන්ධුල ශාන්ත කුලසේකර සහ නිලන්තී 






 ඩීන් අයියා සහ බන්ධුල

Monday, July 25, 2016

හොඳ ළමයි

 

නාලන්දේ හොඳ ළමයි වර්ග දෙකක් සිටි බව මතකය​. මෙසේ හොඳ බව වර්ග කල විනිසුරුවන් වූයේ ගුරුවරුන්‍ ය. එක් වර්ගයක් නීරක්තය , දුෂ්පෝෂණය සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ අව ක්‍රියාකාරීත්වය නිසා වැඩිය දුව පැන දඟ නොකර පන්තියේ එක ස්ථානයක වාඩිවී නිසොල්මන්ව නිහඞව සිටි ළමුන්‍ වෙති. මොවුන් ගුරුවරුන් ගේ ආදරය දිනාගත්තෝය​. පන්තියේ දුව ඇවිදිමින් කොල්ලන් සමග ගහ ගනිමින් කෑගසමින් සිටි අපට අඩිරූල් පාරවල් දුන් ගුරුවර ගුරුවරියන් අර නිහඞ ළමුන් සේ විනීතව හැදෙන ලෙස අපට අවවාද කලෝය​. 

පන්තියට පැමිනෙන සමහර ගුරුවරියන් ළමුන් සියළු දෙනාට තම දබර ඇඟිල්ල දෙතොල් උඩ තබා නිහඞව සිටින ලෙසට නියෝග කොට තමන් ගේ පුද්ගලික වැඩ කළහ​. එහෙත් විනාඩි දෙකකට වඩා එකම ඉරියව්වෙන් සිටීමට නොහැකි වූ ළමුන් මේ නීතිය කඩ කරමින් යාබද මේසයේ සිටි ළමයා සමග කතා කලෝය​. නැතහොත් පැන්සලෙන් කාට හෝ ඇන ඔහුගේ ශීලය බින්දෝය​. 

දෙවන හොඳ ළමුන් වර්ගය සත්‍ය වශයෙන්ම හොඳ ළමුන් වූහ​. ඔවුන් බුද්ධිමත්‍ය​​, පාසලේ නිසි ලෙස හැසිරුණහ​. එසේම නායකත්වයේ ගුණාංග මේ ළමුන් කෙරෙන් කුඩා කාලයේ සිට දැකගත හැකි වීම විශේෂත්වයකි. එවැනි ළමුන් කීප දෙනෙකු ගැන මට සිහිපත් වේ. 

අප ප්‍රාථමික පන්ති වල සිටියදී ටැම්පෝ නම් ඉහල පන්ති වල සිසුවෙකු විය​. ඔහු ඇවිද්දේත් හැසිරුනේත් සිල්වත් භික්‍ෂුවක් මෙනි. අත් දෙක දිගට ඇඳ ඇකිලිය නොහැකි කුඩයක් අතින් ගෙන යන ටැම්පෝ අනෙකුත් ළමුන් ගෙන් බොහෝ වෙනස් චරිතයක් විය​. සාමාන්‍ය පෙළ ඉහලින් සමත් වීමෙන් පසුව ඔහු රාජකීය විද්‍යාලයට උසස් පෙළ සඳහා ගියේය​. පසු කාලයක අප උසස් පෙළ පන්ති වල සිටියදී ටැම්පෝ වරක් පාසලට ආවේය​. එවිට ප්‍රියභානි ටීච "ටැම්පෝ අපිව දාලා ගියා නේද ? කියා ඇසූ විට ඔහු හිස නවා සිනාසුනේය​. 

නීලක නම් තවත් දක්‍ෂ සිසුවෙක්  සිටියේය​. ඔහු ශිෂ්‍ය නායකයෙකි. අප නීලකට බිය වූයෙමු. ඔහුගේ උස් මහත් සිරුර , කට හඞ අපව බිය පත් කලේය​. නීලකට කොල්ලන් කීවේ තෙල් ඌරා කියාය​. දිනක් මමත් ඩී. කේ ප්‍රියන්තත් පන්තියෙන් හිස එලියට දමා තෙල් ඌරා කියා කෑගැසුවෙමු. වෙඩි පහරක් ලත් කඟවේනෙක් මෙන් නීලක හැරී ආවේය​. අප වහ වහා දිව ගොස් පුටු වල වාඩිවී පාඩම් පොත් පෙරළා ගත්තෙමු. ඩී. කේ ප්‍රියන්ත වර්තමානයේ පොලිස් නිලධාරියෙකි.

පසු කාලයක නීලක විදුළි සැර වැදී මිය ගියේය​. ඒ වන විට ඔහු අට වන පන්තියේ ඉගෙනුම ලැබුවා විය හැකිය​. ඔහු පවුලේ එකම දරුවාය​. නීලක සිහි වීම සඳහා  පාසල් ක්‍රීඩාංගනයේ ගසක් ද රෝපණය කොට තිබේ. 

තිලක්  ජයවර්ධන අයියාද ශිෂ්‍ය නායකයෙකු වූ අතර සමහර විට ගුරුවරයෙකු නොමැති අවස්ථා වලදී අපගේ  නවය , දහය පන්ති වලට පැමිණ විද්‍යාව සහ ගණිතය ඉගැන්වීය​. ඔහුගේ පියා ප්‍රකට දේශපාලකයෙකු වූ සුමතිපාල ජයවර්ධන විය​. තිලක් අයියා උගන්වන විට මමත් රණසිංහත්, ඩබල් එන් පී රත්නායකත් , සකලසූරියත් අනම් මනම් කියමින් ඔහුව වෙහෙසට පත් කලෙමු. 

එහෙත් බොහෝ සෙයින් ඉවසීම තිබූ තිලක් අයියාගේ ඉවසීම බිඳී ගියේය​. වරක් ඔහු   කළු ලෑල්ලේ යමක් ලියන විට සකලසූරිය හිස ඩෙස්ක් එක ඇතුලට යොමා  විස්ල් එකක් ගැසූ  විටය​. එවිට තිලක් අයියා " කවුද ඒ වසලයා ? කියා ඇසුවේය​. මේ වසලයා වචනය තිලක් අයියා නය​ට ගත්තේ භෞතික විද්‍යා ගුරුවරයෙකු වූ මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගෙන් බව පසු කාලයක මට අවබෝධ විය​. 

අප සාමන්‍ය පෙළ පන්ති වල සිටියදී ජ්‍යෙෂ්ඨ පන්තියක සිටි ප්‍රසන්න අමරබන්දු අයියාට අප බියකටත් වඩා දැක්වූයේ ගෞරවයකි. පාසලේ සැර ගුරුවරු පවා අපගේ විහිළු වලට ලක් වෙද්දී ජෝකරයන් ලෙස අප විසින් සලකද්දී ශිෂ්‍ය නායකයෙකු වූ අමරබන්දු අයියා අපගේ ගරුත්වය දිනා ගත්තේ ඔහුගේ පෞරුෂත්වයේ සුවිශේෂී ගුණාංගයක් නිසා බව කියා මම අද දිනයේ සිතමි. 

වරක් තක්‍ෂිලා ගොඩනැගිල්ල අසලදී අපගේ අංශ භාර ජයවර්ධන සර් ප්‍රධාන ශිෂ්‍ය නායක ප්‍රසන්න අමරබන්දුට අපගේ කළාපයේ සිසුන් පනින නිසා ඒ ගැන විමසිලිමත් වන්නැයි කියනවා මට ඇසුනි. මේ 1982 වසර විය​. මේ කාලයේ රූබි හෝල් එකේ මවුන්ටන් ඉන් ද ජංගල් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් තිබුනි. මමත්, නලීනුත්, කස්තුරිආරච්චිත් ගේට්ටුවෙන් පැන යාමට සැලසුම් කරගෙන සිටියද මේ අසුභ ආරංචිය ඇසුණු විට සිත කීරි ගැසී ගියේය​. කෙසේ නමුත් අප තිදෙනා සයිලන්ස් එකේ පන්තියෙන් පිටවූ අතර ගවුන්ඩ් එක අද්දර තිබූ මාර ගසක් යටදී අමරබන්දු අයියා අපව නවත්වා ගත්තේය​. 

මල්ලිලා කොහේද යන්නේ ? ඔහු ඇසුවේය​. 

" අයියේ අපි වතුර බොන්න යනවා " කියා මම ඈතින් පෙනෙන ටැප් සවි කරන අද සිමෙන්තියෙන් නිම කල ටැංකිය පෙන්නුවෙමි. 

" හොඳයි මල්ලිලා වතුර බීලා ඇවිත් පන්තියට යන්න මම මේ ගහ යට ඉඳන් ඔය ගොල්ලන් දිහා බලාගෙන ඉන්නවා කියා අමරබන්දු අයියා කීවේය​. 

දැන් කුමක් කරම් ද අප තිදෙනා වතුර ටැංකිය දෙසට පිය නැගුවෙමු. 

" තෝ වැඩේ කෑවා යකෝ" කස්තුරි මට බැණ වැදුනේය​. මොන රෙද්දටද තෝ වතුර බොන්න යනවා කිව්වේ. තොට කියන්න තිබ්බේ ලයිබ්‍රරියට යනව කියලා , හිමීට ඒ පැත්තට යන ගමන් ජය මාවතෙන් මාරු වෙන්න තිබ්බා. අද ෆිල්ම් එක බලලා හමාරයි" 

" අඩෝ ... අඩෝ ... කෑගන්ඩ එපා අමරබන්දු අයියා අපි දිහා බලාගෙන ඉන්නවා. දැන් ශේප් එකේ වතුර බීලා ආපහු පන්තියට යමු. අද පැන්නොත් වර්චස්" නලීන් කීවේය​. මේ අනුව අප තිදෙනා තෙමුණු කපුටන් මෙන් වතුර බී යළි පන්තියට ගියේ අමරබන්දු අයියා ගේ අධීක්‍ෂණය යටතේය​. 

දහය වසරේ අප සිටි ගොඩනැගිල්ලට කීවේ ජයවර්ධනපුරය කියාය​. ඒ අංශ භාර  ප්‍රධානියා ජයවර්ධන සර් වූ නිසාය​. මේ කලාපයෙ අපගේ පන්තිය වූ 10 එෆ් පන්තිය කළාපයේ එපාම කරපු පන්තිය ලෙස කුප්‍රකට විය​. මම , සකලසූරිය , ලාල් රූපතුංග , ඩබල් එන් පී රත්නායක​, සිදත් සුරේන්ද්‍ර , රජිත් හෙවත් මීයා, රණසිංහ , මොරේ , ලියනපතිරණ ඉතා ව්‍යාල සුසංයෝගයක් වූයේය​. මේ නාස්ත්‍යාත්මකතාවය කෙසේදයත් සමහර ගුරුවරියන් දහය එෆ් පන්තියට ඉගැන්වීමට ඒමට පවා බිය වූහ​. 

අපගේ පන්තිය තිබුනේ තෙවන මහලේ පාර අද්දරට වන්නය​. එම පන්තියේ කොරිඩෝවට ගිය විට කිත්‍යාකාර පාරේ තිබෙන පාසල් ගේට්ටුව පෙනේ. පන්තියේ ජනෙල් විශාලය​. ජනෙල් විවෘත වන්නේ තාර පාරටය​. ඉන් එහා විද්‍යාලීය ක්‍රීඩා පිටියටයි. 

අපගේ පන්තියේ  යම් අයෙකු පොතක් පතක් කියවන විට අහිංසක ළමයෙකුගේ පොත් බෑගයක් උදුරාගෙන පොත කියවන සිසුවාගේ හිස මතට පොත් බෑගය එවීම මේ පන්තියේ කොල්ලන් අතර තිබූ පුරුද්දක් විය​. මගේ හිසටද පොත් බෑග් කීපයක් වැටුනු නිසා මම සිටියේද රිටන් එක දීමටය​. 

වරක් මම හිස පහත් කරගෙන චිත්‍ර කතා පත්තරයක් බලමින් සිටි සකලසූරියගේ හිස මතට  කොකටුවාගේ පොත් බෑගය විසි කලෙමි. මින් උරණ වූ සකලසූරිය කොකටුවාගේ පොත් බෑගය ජනේලය හරහා තෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට විසි කලේය​. තම පොත් බෑගය මහල් තුනක් ඉහලින් පියෑඹීම නිසා කොකටුවා විලාප දුන්නේය​. මගේ බත් එකත් තිබ්බා ඔහු නහයෙන් අඞන ගමන් කීවේය​. මම  වහ වහා පහළට දිව ගියෙමි. 

කොකටුවාගේ පොත් මල්ල  තාර පාරේය​. ඒ අසල අමරබන්දු අයියා  කණයා හෙවත් ජයසූරිය  සර් සමග කතා කරමින් සිටියේය​.  ​ හිටි හැටියේ උඩින් පාත් වූ පොත් මල්ල දුටු ජයසූරිය  සර් මවිත විය​. 

" සර් මගේ බෑග් එක උඩ ඉඳන් වැටුණා "   එසේ කියමින් මම කොකටුවාගේ  බෑග් එක රැගෙන යලි පන්තියට දිව්වේ ජයසූරිය  සර් ගෙන් සිතාසියක් ඒමට පෙරය​. 

අපගේ පන්තියේ ළමයි උදෑසන පන්සිල් ගන්න වේලාවට පන්සිල් නොගෙන කොරිඩෝවේ කෑකෝ ගසමින් සිටින බව කිත්‍යාකාර පාර ගේට්ටුවේ සිටි ශිෂ්‍ය නායකයන්ට පෙනුනි. මේ නිසා කිහිප වතාවක් උදෑසන පන්සිල් ගන්නා වේලාවට ජයවර්ධන සර් හිටි හැටියේ වේවැල රැගෙන අපගේ පන්ති නිරීක්‍ෂණයකද යෙදීමට පුරුදුව සිටියේය​. මීට අමතරව අමරබන්දු අයියාද අපගේ පන්තිය ගැන සෝදිසියෙන් සිටියේය​. 

වරක් පන්සිල් ගන්නා වේලාවේදී කොරිඩෝවට පැනගත් රණසිංහ උස් හඞින් රෑන ගිරා ජෝඩුවයි කියා ගැයුවේය​. ඒ අතර වාරයේ ගේට්ටුව අසල සිටි ශිෂ්‍ය නායකයන් කීප දෙනෙක් රණසිංහ දෙස බලමින් ඔහුව හඳුනා ගැනීමේ උත්සහයක යෙදී සිටිනු මම දුටුවෙමි. 

" රනේ වැඩේ දෙල් අන්න ප්‍රිෆෙක්ස්ලා වගයක් මේ පැත්තට එනවා මම ඔහුට අණතුරු ඇඟවූයෙමි. 

රණසිංහ යළි පන්තියට ගොස් දොහොත් මුදුන් දී පන්සිල් ගත්තද ශිෂ්‍ය නායකයන් ඔහුව හඳුනාගෙන ජයවර්ධන සර් ලඟට ගෙන ගියහ​. එදා රණසිංහට ජයවර්ධන සර් ගෙන් බුරියානි ලැබුණි. 

ඊලාම් යුද්දයේදී සුවිශේෂ මෙහෙවරක් කල රණසිංහ වර්තමානයේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. 

අප උසස් පෙළ පන්ති වල සිටියදී අපට වසරකින් පමණ ඉහල පන්තියක සිටි ප්‍රසන්න ගුණසේන ආදර්ශමත් සිසුවෙකු වූයේය​.  ඔහු පසු කාලයක වෛද්‍යවරයෙකු විය​. එසේම අපගේ පන්ති වල සිටි හොඳ ළමයෙකු වූ සෝබිත රාජකරුණා  වර්තමානයේ නීතීඥයෙකි. 

නාලන්දේ තත්‍ය හොඳ ළමුන් අද වගකීම් දරණ ඉහල රැකියා කරන්න පුද්ගලයෝ වෙති. ඔවුන් පාසලට ගෞරවයකි . 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, July 24, 2016

පාර හරහා ගිය පාත්තයන්






මම යෝක් විශ්ව විද්‍යාලයට යමින් සිටියෙමි. මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් සමග මට උදෑසන දහයට ඇපොයිමන්ට් එකක් තිබේ. මම මඳක් ප්‍රමාදය​. එම නිසා මඳක් වේගයෙන් රිය ධාවනය කලෙමි. 

පාරේ එක් ස්ථානයක   රියැදුරන් වාහන නවතාගෙන පාර හරහා ගිය පාත්තයන් පාර මාරුවී යන තෙක් සිටිති. යළි වාහන ධාවනය ඇරඹුනේ පාත්තයන් පාර මාරුවී ගිය පසුවය​. බෞද්ධ රටක් ලෙස ප්‍රචලිත ක්‍රිස්තියානි , හින්දු ඉස්ලාම් ආගම් අදහන්නන් ද සිටින ලංකාවේ මෙසේ පාත්තයන් පාර මාරුවී ගියහොත් උන්ට අත් විය හැකි ඉරණම පිලිබඳව මම කල්පනා කලෙමි. එය දේශ ද්‍රෝහී ආගම් ද්‍රෝහී සිතුවිල්ලකි. 

(චායාරූපය ගත්තේ මා විසිනි) 

Saturday, July 23, 2016

උක් ගස්



නාලන්දා විද්‍යලයේ ප්‍රයිමරියේ විදුහල්පති කාර්‍යාලය පසුපස උක්ගස් යායක් විය​. මෙම උක්ගස් සහිත යාය සිසුන්ට තහනම් කළාපයක් වූයේය​. ​ මෙහි උක්ගස් හොරෙන් කැඩීමට ගිය සිසුන් ගුරුවරුන්ට හසු වී දඬුවම් වින්දහ​. මේ නිසා සිසුන් බොහෝ විට කලේ මෙම පීදීගෙන උක්ගස් දෙස බලා කෙල හැලීම පමණි. 

වරක් අටේ පන්තියේ සිටිය දී හොරෙන් උක් ගස් කැඩීමට මමත් සිදත් සුරේන්ද්‍රත් උදිත පලිහේනත්  සැලසුම් කලෙමු. අපගේ සැලසුම අනුව උක් කැඩීමට හොඳම වේලාව සවස හතරත් පහත් අතරය​. මේ කාලයේදී විදුහල්පති කාර්‍යාලය තුල කිසිවෙකු නැත​. එසේම සිසුන් ද නොමැත​. සිටින්නේ මුරකාරයා පමණි. ඔහු දුටුවොත් විනාසය​. බොහෝ වේලාවට මුරකාරයා ගේට්ටුව අසල සිටියි. 

මේ නිසා මුරකාරයා ගේට්ටුව අසල සිටින අවස්ථාවකදී උක්ගස් ගලවා ගත යුතුය​. මේ සඳහා සැලසුමක් මම ක්‍රියාත්මක කලෙමි. නිවසින් හොඳට කැපෙන පිහියක් සොයා ගත් මම එය රහසෙන් පොත් බෑගයේ දමා ගත්තෙමි. නියමිත දිනයේදී පාසල අවසන් වීමෙන් පසුව අප තිදෙනා ක්‍රීඩා පිටියට ගොස් කල් මැරුවෙමු. වේලාව සවස හතර පමණ  වන විට අප තිදෙනා වරකට එක් අයෙකු බැගින් ප්‍රයිමරියට ගොස් කොට්ටම්බා ගස යට සිටිමින් හොරගල් ඇහුලුවෙමු. මුරකාරයා ගේට්ටුව අසල යම් කෙනෙකු සමග කතාවය​. ඔහු ගැන ඔත්තු බැලීමට උදිතව යෙදෙව්වෙමි. යම් ලෙසකින් මුරකරු උක් යාය දෙසට ආවොත් උදිත විසිල් එකක් ගැසිය යුතුය​. ඉන් පසු මමත් සිදතුත් ප්‍රයිමරියේ විදුහල්පති කාර්‍යාලය පසුපසට හිමීට ගියෙමු. මම පොත් බෑගය විවෘත කොට පිහිය ගෙන හොඳින් වැඩී තිබූ උක් ගසක් කැපීම ආරම්භ කලෙමි. උක් ගසක් කැපීම ලේසි නැත​. බූවට මගේ අත කැපුනි. එහෙත් බිය නිසා වේදනාව නොදැනේ. මම උක් ගස කැපුවෙමි. 


උක් ගස කපා එයද තව කොටස් කීපයකට කඩා පොත් බෑගයේ එබුවෙමි. අණතුරුව දෙවියන් සිහි කරමින් උක් යායෙන් ඉවත්වී අට වසරේ පන්ති තිබූ පස් මහල් ගොඩනැගිල්ල වෙත ගියෙමු. 

පස් මහල් ගොඩනැගිල්ල දිශාවට යන විට හොස්ටල් එකේ කොල්ලන් තිදෙනෙකු අප ඉදිරියට ආවෙන් ඔවුන් සමග යන්තම් සිනාසී ශේප් වූයෙමු. හොස්ටල් කොල්ලන් එකමුතුය​. යම් ලෙසකින් හොස්ටල් එකේ කොල්ලෙකු සමග ගෝරියක් ඇදගතහොත් හොස්ටල් එකේ සියළු දෙනා එලියට එති. එය පිට පළාතකින් නාලන්දාවට ආ නිසා මතුවන අනාරක්‍ෂිත බව නිසා ඇති වූවකි.  අප දෙදෙනා නමෝ විත්තියෙන් හොස්ටල් කොල්ලන් ගෙන් මිදී ගියෙමු. 

මමත් සිදතුත් පස් මහල් ගොඩනැගිල්ල දෙසට යන අතරවාරයේ සිදත් දිව ගොස් උදිතද කැඳවාගෙන ආවේය​. ඉන්පසු අප තිදෙනා පස් මහල් ගොඩනැගිල්ල පසු පසට ගොස් උක් ගස් කෑවෙමු. උක් ගස් පොතු පඳුරක් ඇතුලට එබුවේ සාක්‍ෂි වසන් කිරීම සඳහාය​. ඉන් පසු කිසිවක් සිදු නොවුනාසේ අප මවුන්ට් මේරියට ගොස් නිවෙස් බලා යාමට අදාල බස් රථ වලට ගොඩ වූයෙමු.


ගිනිගත් නගරය



ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය. 


"ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? "හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය. 

"හේමපාලට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා. කලබල වෙන්න එපා. "ග්‍රාමසේවක උපැස් යුගල අතට ගත්තේය. " මට පොලීසියේ රාළහාමි කෙනෙක් පණිවිඩය ගෙනාවේ. " ඔහු මොහොතක් නිහඬතාව රැක්කේය. 

"පොලිසියේ රාළහාමි කෙනෙක් " හේමපාල ග්‍රාමසේවකගේ වචන ප්‍රතිරාවය කළේ පොලීසිය සමඟ තමාට ඇති ගනුදෙනුව කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිවය. 

"ඔව්, යාපනෙන් පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. "

හේමපාලගේ අභ්‍යන්තරය බිඳ වැටුණාක් වැනි හැඟීමක් ඇතිවිය. ලොකු පුතා යාපනයට මාරුවී ගොස් මාස දෙකක් ගතවූවා පමණි. 

"කොල්ලාට කරදරයක්වත් වෙලාද? " ඔහු තැවුණේය. "ඉතින් ග්‍රාමසේවක මහත්තයා කියන්නකෝ මොකක්ද පණිවිඩේ කියලා. "

"හේමපාලට මේක කොහොම කියන්නද මං දන්නේ නැහැ. හේමපාලගේ පුතා ඊයේ බිම් බෝම්බයකට අහුවෙලා අන්ත්‍රා වෙලා. පොලීසියෙන් මට පණිවිඩය කියන්න කිව්වා. "

අකුණු පහරක් වැදුණා වැනි හැඟීමක් හේමපාලට ඇති විය. ඔහු වාරු නැතිවාක් මෙන් බිම ඉඳගත්තේය. හමුදාවට ගිය ලොකු පුතා අන්තරා වෙලා. ඔහු අත්දෙක හිසේ ගසා ගත්තේය. 

"මේක වෙන්න බැහැ. මේක වැරදීමක් " ඔහු තොල් මතුලේය. ගිය සුමානේ පුතා ලියුමක් එවලා තිබුණා. 
එම ලියුමේ යාපනයේ සුලු සුලු කලබල තිබෙන බවත්, දැන් හමුදාව ප්‍රදේශය සන්සුන් කර පාළනය කරන බවත්, ලබන වාරයේ නිවාඩුවට ගෙදර එනවිට අනුරාධපුර වන්දනාවේ යාමට සූදානම්ව සිටින ලෙසටත් ලියා තිබුණි. 

"මට හරිම කණගාටුයි හේමපාල, කොටි ඊයේ හමුදාවේ දහතුනක් මරා දාලා කියලයි ආරංචිය. මරණවල කටයුතු හමුදා ගෞරව සහිතව කොළඹ කනත්තේ කරනවලු. පවුලේ ඥාතීන්ට කොළඹ යන්න තමයි තියෙන්නේ. " ග්‍රාමසේවක දුක්මසු හඬින් කීවේය. 

හේමපාල තවමත් වාඩිවී එකම ඉරියව්වෙන් සිටියේය. කොල්ලා මැරිලා. දැන් ගෑණි පොළොවේ පස් කයි. අනේ කොල්ලට වෙච්ච දේ. වල දාන්ඩ ඉස්සර කොල්ලගේ මුහුණ බලාගන්ඩ ලැබෙයිද? දහසකුත් සිතිවිලි ඔහුගේ සිතට ගලා ගෙන ආවේය. 

"හේමපාල දැං යං මාත් එක්ක ගෙදර. පුතාගේ කෑම්ප් එකෙන් කට්ටිය දැන් එයි. කොළඹ යන්න ඇහැක් විදිය බලමු. " ග්‍රාමසේවක හේමපාල වත්තන් කර ගත්තේය. 

***** 

තවරාණි විදුලි කේතලය අතට ගත්තේ තේ කෝප්පයක් රාජේෂ්ට සාදා දීමටය. වාහනයේ බොනට්ටුව ඇර වැඩකිරීම නිසා රාජේෂ්ගේ අත් වල මජං තැවරී තිබේ. තේ කෝප්පය දීමට ප්‍රථම ඔහුට අත සෝදා ගැනීමට කිව යුතුයැයි ඇයට සිතුණි. සදීපන් හා සුදර්ශනී තව පැය කිහිපයකින් පාසල නිමවී ගෙදර එනු ඇත. සදීපන් ගෙදරට ගොඩ වැදෙන්නේ බත් පිඟාන අපේක්ෂාවෙනි. කෑමෙන් පසු ඔහු බැට් එක අතට ගනියි. අසල්වැසි යහළුවන් සමඟ ක්‍රීඩාවට යන ඔහු යලි ගෙදර එන්නේ සවස කරුවල වැටුණාට පසුවය. සුදර්ශනී කෙළින්ම ඇගේ කාමරයට යන්නීය. ඇඟපත සෝදා ගන්නා ඇය ගෙදරට අඳින ගවුමකට මාරුවී පොතක් කියවීමට පටන් ගනියි. ඇය වැඩිපුරම කියවන්නේ ජේම්ස් හැඩ්ලිචේස්ගේ පොත්ය. දිවා ආහාරය සඳහා ඇයට කිහිප වතාවක් කථාකළ යුතුය. අඬගසන සෑම අවස්ථාවකදීම ඇය කියන්නේ තව විනාඩි පහකින් එන බවය. 

දුරකථනය නාද වූ බැවින් රාජේෂ් දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ මජං නොගෑවෙනු පිණිස ඔහු රිසීවරය අල්ලා ගත්තේ ඇඟිලිතුඩු වලිනි. ඒ අතරතුර වාරයේ ඩ්‍රයිවර් ගේට්ටුව ඇරියේ වෑන් රථය ගරාජයට දැමීමටය. සිල්වා සාප්පුවේ සිට මෙතරම් කලින් ආවේ මන්දැයි තවරා‚ සිතුවාය. වෑන් රථය ගරාජයට දැමූ සිල්වා රාජේෂ් එනතෙක් ගෙයි දොරකඩට වී සිටියේය. 

සිල්වාගේ බුලත්කෑම තවරාණිට අල්ලන්නේ නැත. ඒ නිසා තවරා‚ සිටින විට සිල්වා බුලත් නොකයි. එහෙත් රාජේෂ් සමඟ වාහනයේ යන විට සිල්වා බුලත් කනවා පමණක් නොව වරින් වර කවුළුවෙන් හිස එළියට දමා කෙළ ගසයි. 

"කාගෙන්ද කෝල් එක? " තවරාණි ඇහුවේ කුතුහළයෙනි. එහෙත් රාජේෂ් පිළිතුරු නුදුන්නේය. 

"ඔයාට පුළුවන්ද කාර් එකේ ගිහිල්ලා ළමයි දෙන්නව අරගෙන එන්න. මම සිල්වා එක්ක සාප්පුවට දුවලා එන්නං. " රාජේෂ් කීවේ කලබලයෙනි. 

"ඇයි, ඉස්කෝලේ ඇරෙන්න තව වේලාව තියනවනේ, " තවරාණි මෙහිදී ඇසුවාය. 

"කමක් නැහැ, ළමයි දෙන්නව ගේන්න. යාපනයේ කලබලලු. මෙහෙත් කලබල තියෙයිද දන්නේ නැහැ. හදිස්සියක් උනොත් සාප්පුවට කෝල් එකක් දෙන්න. මම යන්න ඉස්සර මිසිස් දේවරාජාට කියලා යන්නං" මෙසේ පවසා රාජේෂ් දෑත් සෝදා ගෙන සිල්වාට කථාකළේය. තවරාණිගේ සිතට දැණුනේ කරදර සහිත බවකි. මේ මොන කරදරද? ඇය සිතුවාය. සිත නිස්කලංකයේ තබා ගැනීමට අවකාශ නැති හැටි. ඇය ළමුන් දෙදෙනා ගෙන ඒම පිණිස සූදානම් වූවාය. 

"පාර්වතීට කියන්න දොර වහගෙන ඉන්න කියලා. කාටවත් දොර අරින්න එපා කියන්න. " රාජේෂ් කඩිනමින් කීවේය. වෑන් එක පණ ගැන්වූ සිල්වා විටක් කටේ දමා ගෙන රථය ගරාජයෙන් එළියට ගත්තේය. වෑන්රථය ගේට්ටුවෙන් එළියට ගත් වහාම ගේට්ටුව වැසූ රාජේෂ් අල්ලපු ගෙදර මිසිස් දේවරාජාගේ නිවසේ සීණුව නාද කළේය. 

******

හේමපාල කොළඹ කනත්තට පැමිණෙන විට හොඳටම හවස් වී තිබුණි. වැළපෙන බිරිඳ හා බාල දියණිය දකින විට ඔහුගේ හදවත කඩා වැටී නෙතග කඳුළින් පිරේ. එහෙත් සිත ධෛර්යවත් කරගත් ඔහු වික්‍රමරත්න රාළහාමි සමඟ කනත්තේ ප්‍රධාන දොරටුවෙන් පියමැන්නේය. විශ්‍රාමික පොළිස් කොස්තාපල්වරයෙකු වූ වික්‍රමරත්න රාළහාමි ඔවුන් සමග කොළඹ පැමිණීම හේමපාලට මහත් උපකාරයක් වූ බව සැබෑය. සිත කම්පනයට පත්වී ඇති නිසා ඔහු කථා කළේ අඩුවෙනි. 

කනත්තේ බොහෝ පිරිසක් රැස්වී සිටියහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ගේ අදෝනා හඬ ඇසෙත්ම හේමපාලගේ නෙත්වල කඳුළු රඳවා ගැනීමට ඔහුට නොහැකි විය. ලේන්සුවෙන් කඳුළු පිසදා ගත් ඔහු වටපිට බැලීය. "හේමපාල, තවම මිනී ගෙනල්ලා නැහැ" වික්‍රමරත්න රාළහාමි කීවේය. 

මියගිය සොල්දාදුවන් හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට වලවල් කපා තිබුණ නමුත් තවමත් එක මිනී පෙට්ටියක්වත් ගෙනවිත් නැත. හමුදා නිළ ඇඳුම් ඇඳගත් භට පිරිස් සීරුවෙන් සිටියහ. ඒ අතර පොලිස් නිළධාරීන් සෙනග පාලනය කළහ. ෆයිල් කවරයක් අතින්ගත් හමුදා නිළධාරියෙක් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට පෝරම කොළ වගයක් බෙදීය. ඒ අතරවාරයේ වික්‍රමරත්න රාළහාමි වෝකි ටෝකි යන්ත්‍රයක් අතැතිව සිටි පොලිස් නිළධාරියෙකුට කථාකළේ වැඩිමනත් තොරතුරු දැනගැනීම පිණිසය. 

මිනී පෙට්ටි තවමත් ගෙන නොඒම පිළිබඳව රැස් කකා සිටි පිරිස නොසන්සුන් ස්වරයෙන් කතාකළහ. ඒ අතර ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් මැතිඇමතිවරු මෙම ස්ථානයට පැමිණීමට නියමිතව සිටියත් ඔවුන් කිසිවෙකු නොපැමිණීමට තීරණය කොට ඇති බව හඬ නගා පැවසීය. එවිට සෙනග අතරින් එකකු කෑගසා යමක් කීය. 

"හේමපාල මිනී ගේන තීරණය වෙනස් කරලා, අපිට රේමන්ඩ් එකට එන්නලු. එතනින් පුතාගේ මිනිය දෙයි. ගමට ගෙනියන්න. මෙතන කලබලයක් යන හැඩයි. අපි රේමන්ඩ් එකට යමු. " වික්‍රමරත්න රාළහාමි හේමපාල අමතා කීය.

සෙනග අතරින් ඉදිරියට ආ කෙනෙක් උස් හඬින් කතා කළේය. ඝෝෂාව නිසා ඔහු කියූ දේ හේමපාලට ඇසුණේ අසම්පූර්ණවය. 

"පර බල්ලෝ, මුං සිංහල කොල්ලෝ කොටින්ට බිලි දීලා අපට කොල්ලන්ගේ මිනීවත් පෙන්නන්නේ නැහැල්ලු, අපිට කමක් නෑ, මිනී විකෘති කරලා තිබ්බත් අපිට අපේ කොල්ලන්ගේ ඇඟිල්ලක් හරි බලාගන්ඩ ඕනෑ. "

ඔහුගේ කථාවේ කොටසක් සවනට වැටීම නිසා හේමපාලගේ හිත කීරිවැටී ගියේය. "මොනවා මුං පුතාගේ මිනිය විකෘති කරලද", ඔහු මහත්සේ තැවුණේය. අවසන් වතාවට පුතාගේ රත්තරන් මුහුණ දැකීමට තිබූ අවස්ථාවත් නැති කරපු හැඩයි. ඔහු කම්පිතව සිතුවේය. 

හේමපාලගේ අත අල්ලාගත් වික්‍රමරත්න රාළහාමි සෙනග ඈත් මෑත් කරමින් කනත්තෙන් ඉවතට ඒමට උත්සාහ කළේය. ඔවුන් පසුපස හේමපාලගේ බිරිඳ හා දියණියද සිහිනෙන් ඇවිදින්නාක් මෙන් ආවෝය. 

පර්වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිළධාරියෙකු සෙනග සන්සුන් කිරීමට උත්සාහ කළේ තම තර්ජනාත්මක ස්වරය හා නිළ ඇඳුමේ අධිකාරී බලය පෙන්වමිනි. "අඩෝ, අපි මූව වලට දාමු, " පිරිසක් පසුපස සිට කෑගැසූහ. ඒ සමගම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ. 

පිස්තෝලයක් අතින් ගත් චීවරධාරියෙක් ඉදිරියට ඉදිරියට පැමිණියේය. ඔහු සෙනගට විධාන දෙන්නාක් මෙන් කථාවක් කළේය. "උඹලා සිංහ ලෙයක් ඇති, සිංහ සිතක් ඇති සිංහලයෝ. අපේ කොල්ලන් දහතුන්දෙනෙක් යාපනයේ මරා දාලා. උන්ගේ ඇස් පවා උගුල්ලලා. උඹලා තව මොනවද නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ. ආණ්ඩුවට කොටි මර්ධනය කරන්න බැරි නම් අපි හරි දෙමළ කොටි විනාශ කරමු"

කනත්තේ කලබලය තීව්‍ර වෙමින් පැවතිණි. වික්‍රමරත්න රාළහාමි හේමපාල සමඟ රේමන්ඩ් මල් ශාලාවට පැමිණියේය. 

*****

රෑ අටද පසුවූ නමුදු රාජේෂ් තවම නිවසට නොපැමිණීම තවරාණි ගේ සිතට බිය උපදවයි. දුරකථනය නාද වූ සෑම අවස්ථාවකම ඇය රිසීවරය අතට ගත්තේ රාජේෂ්ගේ කටහඬ ඇසීමේ අපේක්ෂාවෙනි. අවසන් වරට දුරකතනයෙන් කථාකළේ ජෙයප්‍රකාශ් ය. 

කොළඹ කලබල ඇතිවී ඇති බවත්, දෙමළ ජාතීන්ට පහර දෙන බවත් ඔහු කීවේ සැලෙන හඬිනි. හැකි ඉක්මනට රක්ෂිත ස්ථානයකට යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තැතිගත් ළමුන් දෙදෙනා නිදන කාමරයේ ඇඳයට රිංගූහ. සේවිකාව දොර අසල බිම වාඩි වී සිටිමින් බියෙන් ඉකි ගැසුවාය. 

සාප්පුවේ දුරකථනය එක දිගට නාද වෙනවා මිසක කිසිවකු පිළිතුරු දෙන්නේ නැත. හදිසියේ දොරට යමෙකු තට්ටු කළේය. විදුලි පහන් නිවා කුඩා මේස ලාම්පුව පමණක් දල්වා තිබූ නිසා නිවසේ කිසිවකු නොසිටින බව ඇඟවීමට තවරාණිට අවශ්‍ය වූවාය. දොරට ගසන හඬ ඇසීමෙන් ළමුන් දෙදෙනා ගැහෙමින් ඇඳ යට ගුලිවී සිටියෝය. සේවිකාව බියෙන් ලතෝනි දුන්නාය. සේවිකාවගේ කෑගැසීම තවරාණිට බියක් මෙන්ම කෝපයක්ද ගෙන දුන්නේය. 

"පාර්වතී කටවහපං" ඇය තර්ජනාත්මක ස්වරයෙන් පහත් හඬින් සේවිකාට අණ දුන්නාය. දොරට ගැසීම නැවතුනේ නැත. "තවරාණි, තවරාණි, දොර අරින්න, මම මිසිස් දේවරාජා" එළියෙන් ඇසුණේ ගෑණු කටහඬකි. මිසිස් දේවරාජාගේ කටහඬ ඇසීම නිසා තවරාණිගේ බිය තාවකාලිකව පහ වූවාය. ඇය විදුලි පහන දල්වා දොර ඇරියාය. 

"ආරංචිද? කොළඹ කලබල, මෙහේ ඉන්න එපා, යමු අපේ ගෙදර. " මිසිස් දේවරාජා තවරාණිට කීවාය. "අනේ මිසිස් දේවරාජා, මම කොහොමද ගේ දාල එන්නේ. තාම රාජේෂ් ආවෙත් නැහැ. " තවරාණිට ඇඬුම් ආවාය. 

"රාජේෂ් එයි, අද රෑ මෙතන ඉන්න එක හොඳ නැහැ. රස්තියාදුකාරයෝ ගෙවල් මංකොල්ල කනවලු, යං අපේ ගෙදර, ඉක්මණට බඩු පැක්කර ගන්න. "

තවරාණි විශාල සූට්කේස් එකකට තම ස්වර්නාභරණ, ලියකියවිලි, මුදල් හා ඇඳුම් දමාගත්තේ කඩිනමිනි. "පාර්වතී ඉක්මනට ළමයින්ගේ ඇඳුම් ගනිං. "ඇය සේවිකාවට විධාන කළාය. තැතිගෙන සිටි ළමයි හා පැටවුන් සේ තවරාණි අසල දැවටුණාය. 

"රෑට කාලවත් නැතිව ඇති නේද? මම ඉක්මනට මොනවා හරි හදන්නම්, ඉක්මන් කරලා යමු. දොර ජනෙල් හොඳට වහන්න. " මිසිස් දේවරාජාද දොරගුඟ පරීක්ෂා කිරීමට උදව් වූවාය. 

******

සාප්පුවේ තිබුණු වටිනා භාණ්ඩ පෑලියගොඩ තම සිංහල මිතුරාගේ ගරාජයට ගෙන ගිය රාජේෂ් රියදුරා සමග බඩු බෑවේය. බඩු සියල්ල බා අවසන් කරන විට රෑ අට ද පසු වී තිබුණි. රාත්‍රියේ ගමන අවදානම් නිසා අද රාත්‍රියේ තමාගේ නිවසේ නැවතී හෙට යන ලෙස මිතුරා අයාචනා කළද තවරාණි හා ළමුන් දෙදෙනා තනිවම සිටින නිසා වහාම ගෙදර යායුතු බව රාජේෂ් තීරණය කළේය. 

සිල්වා රියදුරු සුක්කානමේ සිටීම රාජේෂ්ගේ සිතට සහනයකි. සිල්වා වෑන් රථය පැදවූයේ විට සපමිනි. මරදාන දක්වා ඔවුන් කිසිදු ගැටළුවකට මුහුණ නොදී පැමිණියහ. තැනින් තැන පොළිස් නිළධාරීන් සිටියද කිසිවෙකු වාහනය නැවැත්වූයේ නැත. 

වෑන් රථය බොරැල්ල මංසන්ධියට හරවන විට විශාල සෙනගක් පාරපුරා සිටීම නිසා සිල්වා වාහනයේ වේගය අඩු කළේය. පාර දෙපස ගිනිගන්නා වාහන කිහිපයකි. බීමතින් කඩු පොලු ගත් දාමරිකයන් සටන් පාඨ කියමින් වෑන් රථයට කිට්ටු වූහ. 

සිල්වා වාහනය යළි හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු නමුත්, පාර අයිනේ නවතා තිබූ බස්රථය නිසා ඔහුට ඒ සඳහා ඉඩක් නොවීය. ඒ අතරවාරයේ මැරයෝ වෑන ්රථය වට කළහ. 

"තමුසෙලා කවුද? සිංහලද? දෙමළද? " කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි අයෙකු ප්‍රශ්න කෙළේය. ඔහුගේ අතේ රටබීම බෝතලයකි. ඔහු වතුර බොන්නාක් මෙන් බෝතලයේ තිබූ මත් පැන් කටේ හලා ගත්තේය. යකඩ පොලු, කඩු අතින් ගත් දාමරිකයන් වාහනයේ වටිනා යමක් තිබේද කියා කර පොවා බැලුවෝය. 

"අපි සිංහල, " සිල්වා තතනමින් පිළිතුරු දුන්නේය. "මහත්තයව ගෙදර බස්සවන්න යනවා. "

"ආ මෙයාද මහත්තයා, මහත්තයා සිංහලද? " එක් මැරයෙක් ප්‍රශ්න කළේය. රාජේෂ් කිසිදු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. "ඒයි මහත්තයා, තමුසෙ සිංහල ද? කියනවා බලන්න මල් පූජා කරන ගාථාව. "

රාජේෂ් නළලින් වැගිරෙන දාඩිය කමීස අතේ පිසදා ගත්තේය. සිල්වා ගොත ගසමින් කතාකළේය. 
"මේ මහත්තයා සිංහල, අපිට යන්න දෙන්න. "

"අඩෝ නාකියා, උඹ දෙමලුන්ට . . . . . . . . . දෙනවා නේද? මූ දෙමලෙක්. පේන්නේ නැද්ද මූණ බැලුවම. " මැරයා තම අත තිබූ මුගුරෙන් වෑන් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැසුවේය. එම පහරින් වීදුරු කෑලි සිල්වාගේ හා රාජේෂ්ගේ ඇඟ පුරාම වීදුරු වැස්සක් සේ වැටුණේය. 

"ඒයි, මහත්තයා බැහැපං, නැත්තං වාහනේ ඇතුළට දාලා ගිනි තියනවා, "මැරයෝ මෙසේ කියමින් වෑන්රියේ දොර ඇර රාජේෂ්ව බිමට ඇද දැම්මෝය."අනේ අපේ මහත්තයට ගහන්න එපා. " සිල්වා දෑත් එක් කොට වැන්දේය."අඩෝ නාකියා බැහැපන් උඹත් මැරුම් නොකා, " මැර නායකයා සිල්වාගේ බෙල්ලෙන් අල්ලා බිමට දැම්මේය. අනතුරුව සුනඛයෙකුට පා පහරක් දෙන්නාක් මෙන් සිල්වාගේ පශ්චාත් ප්‍රදේශයට පා පහරක් එල්ල කළේය. 

මේ අතර මැර පිරිස වටවී රාජේෂ්ට පොලු වලින් පහර දුන්නේය. ලේ වලින් ඔහුගේ මුහුණ තෙත් විය. පහරවල් වලකාලීමට මෙන් ඔහු දුබල වූ දෑත් වලින් මුහුණ ආවරණය කර ගත්තේය. බිම වැතිරී සිටි සිල්වා රාජේෂ් දෙසට බඩගෑමට උත්සාහ කළේය. සෙනග වට වී සිටි නිසා ඔහු රාජේෂ් දුටුවේ නැත. මෝල් ගස් මෙන් ඉහළ යන පොලු ඔහු දිටීය. රාජේෂ්ගේ ශරීරයට ඒවා වැදෙන විට නැගෙන හඬ පමණක් ඔහුට ඇසුණේය. "අනේ අපේ මහත්තයා"සිල්වා තාර පොලවේ හිස ඇන ගත්තේය. 

****** 

පසු දින දහවල් වනතෙක් රාජේෂ් පිළිබඳ තොරතුරක් නැති නිසා තවරාණි සිටියේ ඇඬූ කඳුළිනි. ළමයි දෙදෙනා ද මව සමග වරින්වර ඇඬූහ. ඔවුන් සැනසීමට උත්සුක වූ මිසිස් දේවරාජා රාජේෂ් ඇඟරි නීතිය නිසා කොහේ හෝ කොටු වී නිරුපද්‍රිතව ඇති බව පැවසුවේ තම සිතේ වූ සැකයට ද වංචා කරමිනි.

"නෝනා, නෝනා, මෙහාට මිනිස්සු කට්ටියක් එනවා, " පාර්වතී මුර ගෑවාය. 

මිසිස් දේවරාජා තවරාණි හා ළමුන් තම නිදන කාමරයට යවා දොරවසා කවුළුවෙන් කරපොවා බැලුවාය. මිනිසුන් සියයක් පමණ ඇයගේ මිදුලේ රැස් වී සිටිති. එක් මැදි වියේ පුද්ගලයෙකු දොරට තදින් තට්ටු කෙළේය. ගැඹුරු හුස්මක් ගත් මිසිස් දේවරාජා දොර ඇරියේ බිය නොපෙන්වමිනි. 

"මොකද ඔහේලා මෙහේ කරන්නේ. " ඇය උස්හඬින් ඇසුවාය. "නෝනා, ගෙදර හංගගෙන ඉන්න දෙමෙල්ලු එළියට දාන්න. " මැදිවියේ පුද්ගලයා ගොරෝසු හඬින් කීවේය. ඔහුගේ අතේ විශාල කඩුවකි. ඔහුගේ මුහුණේ ඇති කැපුම් කැළල නිසා ඔහුගේ මුහුණ තවත් බිහිසුණුව පෙණිනි. 

"මෙහේ ඇති දෙමලෙක් නැහැ, කරුණාකරලා යන්න. මම නැත්නම් පොලීසියට යනවා. "

"නෝනා ඕන මළදානයකට යන්ඩ, ගෙදර හංගාගෙන ඉන්න දෙමෙල්ලු ටික එළියට දැම්මේ නැත්නම් අපි මේ ගෙදරත් ගිනි තියනවා. " ඔහු පෙට්ට්‍රල් බූලියක් අතට ගත්තේය. 

රැස්ව සිටි පිරිස උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා කළහ. අසල්වැසියන්ද වට වී සිටියද කිසිම අයෙකු වචනයක්වත් කීවේ නැත. එහෙත් සෙනග පීරාගෙන මහළු භික්ෂුවක් හැරමිටි ගසමින් පැමිණියේය. භික්ෂුව දැකීමෙන් දේවරාජා මහත්මියට පළමුවෙන්ම පුදුමයක්ද, දෙවනුව සහනයක්ද දැනිනි. හන්දියේ පන්සලේ අසනීප ගතියෙන් සිටින ජිනාලංකාර  හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියෙ කොහොමද ඇය සිතුවාය. 

මහළු භික්ෂුව ඉදිරියට පැමිණ සෙනගට කථා කළේ දුබල හඬකිනි. 

"උඹලා, මේ කරන්ට යන තිරිසන් වැඩේ මොකක්ද? කොටි ඉන්නේ යාපනේ, උඹලා මෙහේ ඉන්න අහිංසක දෙමළ මිනිස්සු මරණ එකේ තේරුමක් තියෙනවද? "

"මෙහේ ඉන්න දෙමෙල්ලු තමයි හාමුදුරුවනේ, කොටින්ට සල්ලි යවන්නේ. "සෙනග අතර සිටි හැඩි දැඩි තරුණයකු කීවේය. 

භික්ෂුව ඔහු දෙස මොහොතක් බලා සිටියේය. 

"සල්ලි යවනව ඔහේ දැක්කද? දැක්ක නම් ගිනි තියපං. " භික්ෂුව ඔහුට ඉඩ දෙන නියායෙන් පසෙකට විය. සෙනග නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත. 

"උඹලා ඔය විඳින්නේ දදයක් කසලා ඇතිවෙන සහනය. ඒත් මතක තියා ගනිල්ලා මේවාට තව අවුරුදු ගණන් යනකං උඹලාට විඳවන්න වෙන බව. උඹලාට විතරක් නොවෙයි, උඹලගේ දරුවන්ටත්, අහක ඉන්න අපටත් විඳවන්න වෙයි. "

රැස්ව සිටි පිරිස හින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් විසිර ගියහ. 

*****

තම පුතාගේ හත් දවසේ දානයෙන් පසු හේමපාල කොළඹ යුධ හමුදා මූලස්ථානයට පැමිණියේ පුතාගේ හිඟ වැටුප් හා දීමනා ලබාගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමටය. 

මුළු නගරයම යකුන් නැටූ පිටියක් මෙන් විනාශ වී ගොසිනි. තැනින් තැන ගිනිගත් කඩසාප්පුය. 

දින ගණනක් රෝහලේ නේවාසිකව නතරවී ප්‍රතිකාර ගැනීමෙන් පසු ටිකට් කපනලද සිල්වා අසීරුවෙන් තම හාම්පුතාගේ නිවසට පැමිණියේ ඔහුගේ දරු පවුල හමුවීමේ අපේක්ෂාවෙනි. දොර ජනෙල් වසා නිවසද පාළුවට ගොසින් තිබූ බැවින් සිල්වා අසල්වැසි නිවසට ගොස් මොවුන් පිලිබඳ තොරතුරු විමසීය.

"සිල්වා මොකද වුණේ? " හිසේ ප්ලාස්ටර් හා තවමත් අත එල්ලාගෙන සිටින රාජේෂ්ගේ රියදුරා දුටු දේවරාජා මහත්මිය ඇසුවාය. "නෝන, අහස පොළව නුහුලන අපරාධයක් වුණේ. මගේ ඇස් ඉස්සරහ රාජේෂ් මහත්තයට ගහල මැරුවා. උන් මටත් ගැහැව්වා. මම අමාරුවෙන් බඩගාගෙන මරදාන පැත්තට යනකොට පොලිස් ජීප් එකක් මාව ඉස්පිරිතාලයට ගිහින් දැම්මා. සුමානයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා අදයි ටිකට් කැපුවේ. කෝ තවරාණි නෝනයි, ළමයින් දෙන්නයි? "

දේවරාජා මහත්මිය සුසුමක් හෙලුවාය. "රාජේෂ් මහත්තයාගේ මරණය ගැන තවරාණි නෝනා දැන ගත්තේ පොලීසියෙන් ඇවිල්ලා කිව්වමයි. උන් වෑන් එකත් පුච්චලා. පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. "

මහළු රියදුරා තම දෑස් පියා ගත්තේය. "හරි අපරාදයක් නේද වුණේ ? හොඳ ලස්සනට හිටපු පවුලක් මොහොතකින් විනාශ කරලා දැම්මා මේ අමනුස්සයෝ. මේවා බලන්න අපිත් ජීවත් උනානේ. " ඔහු දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමා ගත්තේය. "මම යන්නං නෝනා, රෑ වෙන්න කලින් ගමේ යන්න ඕනෑ. "

රියදුරා පිටත් වීමෙන් පසු දේවරාජා මහත්මිය පාර අද්දරට ගියාය. ඈත මාර්ගයේ ගින්නෙන් විනාශ වූ ගෙවල් හා කඩසාප්පු ඇයගේ නෙතට ලක්විය."හරියට මහා ගිනිකන්දක් පිපුරුණා වගේ" ඇය දිග හුස්මක් ගනිමින් තොල් මැතුරුවාය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook