Friday, February 13, 2015

මැක්සිම් ඉවානවිච්



වෛද්‍ය රුවන් එම්. ජයතුංග


පෙත්රොව්ස්කයා මාවත පිහිටියේ මොස්කව් නගරයේ කිලෝමීටර් පනහකට අධික දුරකිනි. මෙම මාවතේ රජයේ තට්ටු නිවාස කීපයක්ද, විප්ලවයට ඉහත ඉදි කරන ලද නිවාස දොළහක්ද දැකිය හැක. රජයේ තට්ටු නිවාස අතරින් වඩාත්ම වැදගත් තට්ටු නිවාසය ලෙස සැලකුනේ මැක්සිම් ඉවානවිච් ජීවත් වූ තට්ටු නිවාසයයි. මැක්සිම් ඉවානවිච්ගේ සම්පූර්ණ නම මැක්සිම් ඉවානවිච් ෂෙමකොව්ය. බහුතරයක් ඔහුට මැක්සිම් ඉවානවිච් යන ගරු නාමයෙන් ඇමතූහ. කිට්ටුවන්තයන්ට ඔහු මැක්සිම් විය. බවලත්තු ඔහු ළඟ නොමැති අවස්ථා වලදී ෂෙමකොව් යන පෙළපත් නාමයෙන් මැක්සිම් ඉවානවිච්ව නම් කළහ. ගැටවරයින් ඔහු හැඳින්වූයේ "තට්ටයා" යන නමිනි. ඊට හේතුව වූයේ ඔහුගේ හිසකෙස් ඔහුගේ හිස සහමුලින්ම අත්හැරයාමයි. එහෙත් ඔහු ඉදිරිපිට ඔහුට "තට්ටයා" නමින් ඇමතීමට හැකි අයෙක් මුළු පෙත්රොව්ස්කයා මාවතේ නොවීය. 

මැක්සිම් ඉවානවිච් චිත්‍රශිල්පියෙකු, ගත්කතුවරයෙකු, කවියෙකු හෝ වෙනයම් ගරු කටයුතු වෘත්තියක නිරතවූවෙකු නොවේ. එහෙත් පෙත්රොව්ස්කයා මාවතේ ජීවත් වූ සියළු දෙනා ඔහුට ගරු කළහ. කාන්තාවෝ ඔහු මුණගැසුණවිට "ආයුබෝවන් මැක්සිම් ඉවානවිච්˜ යයි පැවසූහ. මැදිවියේ පිරිමි "ආයුබෝවන් මැක්සිම් ඉවානවිච්˜ යන ඇමතුමට අමතරව තමන්ගේ හිස් වැසුම්ද ඔසවා ඔහුට ආචාර කළහ. මෙලෙස මැක්සිම් ඉවානවිච්ට ගරු බුහුමන් කිරීමට පෙත්රොව්ස්කයා මාවතේ ජීවත් වූ පිරිස් නොමැලි වීම විශේෂත්වයකි. මොස්කව්වාසින්ට පෙත්රොව්ස්කයා මාවතේ ජීවත් වූ මිනිසුන් පෙණුනේ නගරබද නොවන, ගම්බද නොවන, අමුතු ජාතියේ කොට්ඨාශයක් වශයෙනි. ඔවුන් ගැමියන්ද, නාගරිකයන්ද නොවන, තේරුම්ගත නොහැකි අමුතු පිරිසක් මෙන් පෙනී ගියේය. ගැමියන් පෙත්රොව්ස්කයා වාසීන් ගැන සිතුවේ ඔවුන් නාගරිකයන් ලෙසිනි. ඒනිසා ඔවුන්ගේ සුළු නිෂ්පාදනයන් වන බිත්තර, කුකුල් මස්, ඌරු තෙල්, සූරියකාන්ත ඇට, පළතුරු වර්ග, මොස්කව්වාසීන්ට විකුණන මිළටම පෙත්රොව්ස්කයා මාවතේ විසූ මිනිසුන්ට විකුණූහ. මැක්සිම් ඉවානවිච් පමණක් ගැමියන්ගේ කපටිකම්වලට අසුනොවීම විශේෂයෙන් කිවයුතු කරුණකි. උදාහරණයක් ලෙස ගැමියෙකු රූබල් දහයකට මිළ කරන "සාලා˜ නමින් හැඳින්වෙන දුම්ගැසූ ඌරු තෙල් මේදය මැක්සිම් ඉවානවිච් මිළට ගන්නේ රූබල් හතක් ගෙවීමෙනි, ඒ සඳහා මැක්සිම් ඉවානවිච් තමන් ගැමියෙකු ලෙස පෙනීසිටිමින් වෙළඳ ගැමියා සමඟ හෙට්ටු කරයි. මුෂිකි නමින් හඳුන්වන මෙම ගැමියෝ අවසානයේදී මැක්සිම් ඉවානවිච්ට පරාදවෙති. එහෙත් ඔවුන් තම පාඩුව මකාගන්නේ පෙත්රොව්ස්කයා මාවතේ වෙසෙන අනිත් ගැණුම්කරුවන්ට වැඩි මිළ නියම කර ආහාර ද්‍රව්‍ය විකුනාගැනීමෙන්ය


මිනිසුන් මැක්සිම් ඉවානවිච්ට ගරු කළේ ඔහුට රජය සමඟ ඇති බඳතා නිසාද නොවේ. එසේනම් රජයේ ගරු නිළයක් හෙබවූ ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච්ට මිනිසුන් ගරු කරනු ඇත. ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දැරූ අයෙකි. එහෙත් මිනිසුන්ට ඔහු විශේෂිත පුද්ගලයෙකු නොවීය. මැක්සිම් ඉවානවිච් ලද ගරු බුහුමන් වලින් අඩක් හෝ ලබාගැනීමට ඊගර් ඇලෙක්ස්සැන්ද්‍රවිච් සමත් නොවීය. සවස් වරුවේ ඔහු වැඩ ඇරී ගෙදර එන විට පෙත්රොව්ස්කයා වාසීහු තම තමන්ගේ සතුටු සාමීචි කථාවල යෙදෙමින් සිටිති. අතරින් පතර එක් අයෙක් හෝ දෙදෙනෙක් ඔහුට "ආයුබෝවන් ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච්˜ යයි කියති. එළිමහනේ චෙස් ක්‍රිඩාවේ නිරතවන්නෝ යටත් පිරිසයෙන් ඔහු දෙසවත් නොබලති. බහුතරයක් ඔහු ඇමතුවේ "බකලයා˜ යන විසුළු නමින්ය. 

ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් ඇවිදින විට බකල ගැසූබව සැබෑය. ඔහු ඇවිදින විට චණ්ඩ සාගරයේ ඒ මේ අත පැද්දෙන පතොම්කින් නෞකාව සිහිවේ. නිකොලොයි ගොගොල් පැවසූ පරිදි රුසියානුන් නම් පටබැඳීමට උපන් හපන්නුය. එම නිසා ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච්ට නම් පටබැඳීමට ඔවුහු දෙවරක් නොසිතූහ. ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් ඈතින් එන විට කොලූ ගැටව් " ඔන්න බකලයා එනවා˜ යැයි කීහ. තම නිවසේ අඬුව නැතිකරගත් අයෙක් ශිතකාලයේදී ගිනි උදුන අළුත්වැඩියා කර ගැනීමට අඬුව සොයන විට ඔහුගේ බිරිය අඬුව නැති කර ගැනීම ගැන ඔහුට දොස් කියමින් බකලයාගේ නිවසට ගොස් හෝ අඩුව ඉල්ලාගෙන එන ලෙසට අණදෙයි. වොඩ්කා බීමට අතමාරුවක් අවශ්‍ය කෙනෙකු හිඟ මුදල් සෙවීමට යන්නේ බකලයා හමු වී ඉක්මනින්ම එන බව මිතුරන්ට කියමිනි.   

වැසිලි ව්ලැදිමිරව්ච් හෙවත් වාස්කා පෙත්රොවිස්කයා මාවතේ සිටි නොම්මර එකේ බේබද්දාය. ඔහු උදේ, දවල්, සවස යන තුන් යාමයේම සිටියේ බීමතිනි. ගිමිහාන කාලයේ වෙරිමතින් උස්හඬින් ගීයක් ගයමින් පාරදිගේ යන වැසිලි ව්ලැදිමිරවිච් කොලූගැටව් අත්වැල අල්ලති. එවිට වැඩිමහළු ගැහැණු සහ මිනිස්සු "ඔන්න අදත් වාස්කා හොඳටම බීලා˜ යැයි කියති. වාස්කා ගැයුවේ රුසියානු ජන ගීයකි. එය තාලය රහිත ගොරෝසු කටහඬින් ගැයුණු ගීයකි. මෙම ගීත වලට පෙත්රොව්ස්කයා වාසීහු දැන් පුරුදුව සිටිති. එහෙත් ඇතැමෙක් මෙම ගෝරනාඩුවට කැමැත්තක් දැක්වූයේ නැත. "මේ මොන කරදරයක්ද˜ කියමින් ඔවුහු වාස්කා බේබද්දාට දොස් කීහ. අසල්වාසීන්ගේ දොස් කීම් කිසිසේත් මායිම් නොකරන වාස්කා වොඩ්කා බීම නිසා ඉදිමුණු මුහුනින් යුතුව සිය අපිරිසිදු කබාය ඇඳගෙන, ගැමි ගීය තාලය රහිතව ගයමින් පාර දිගේ යයි.

එහෙත් මැක්සිම් ඉවානවිච් දුටු විට ගීතය මදකට නවත්වා "දෝබිරේදේන්˜ (සුභ දවසක්) මැක්සිම් ඉවානවිච් යනුවෙන් පවසා තම හිස්වැසුම අතට ගනියි. බේබදු වස්කාගේ ගෞරවය පිළිගන්නා මැක්සිම් ඉවානවිච් "වැසිලි ව්ලැදිමිරවිච් කොහොමද වාස දේසේ˜ යනුවෙන් අසයි. "දෙවියන්ට පින්සිද්ධවෙන්න ඔක්කොම හොඳයි˜ බේබද්දා පිළිතුරු වශයෙන් කියයි. එහෙත් වාස්කා අදහන හෝ විශ්වාස කරන දෙවියෙක් මේ විශ්වයේ නැත.   
පෙත්රොව්ස්කයා මාවතේ ජනතාව අතරෙන් වාස්කා අතිශයින්ම ප්‍රිය කළේ මහළු ගලිනාගේ නිවසයි. අසල්වාසීහු ඇය මායාකාර මැහැල්ල හෙවත් "බාබායගා˜ ලෙස හැඳින්වූහ. මහළු ගලීනා මන්තර ගුරුකම් ගැන දැන නොසිටියද, සීනිවලින් මධ්‍යසාර පෙරීමට ඇය දැන සිටියාය. සීනි හිඟයක් පැවති එසමයේ සීනි ලබාදෙන ලද්දේ සලාක ක්‍රමයකටය. රජයේ නිළධාරීහු මෙය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය අඩු කිරීමට ගන්නාලද පියවරක් ලෙස මෙය අර්ථ දැක්වූහ. මෙම අදහස බකලයා නොහොත් ඊගර් ඇලෙක්සැද්‍රවිච් අනුමත කළා පමණක් නොව මහළු ගල්යා හමුවූ විට නීති විරෝධී මත්පැන් හෙවත් "සමගොන්˜ පෙරීම ගැන අනතුරු ඇඟවීය. 

ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච්ගේ තරවටුවට බිය ගන්නා මැහැලිය සිරිත් පරිදි තම අඳෝනාව පවසන්නීය.  ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් කවුද, මා ගැන ඔය බොරු පතුරුවන්නේ. මම කරන මත්පැන් පෙරීමක් නැහැ. සැමියා මළ මහළු වැන්දඹුවක වන මට මෙහෙම චෝදනා කිරීම හරිද? "මම ජීවත්වෙන්නේ අමාරුවෙන්. ලැබෙන පෙන්ෂන් වැටුප පාන් ගන්නත් මදි. මගේ අතපය වලංගු නැහැ. ඉතින් මම කොහොමද "සමගොන් ˜ පෙරන්නේ මේවා බොරුකථා. මේවා පතුරවන්නේ අර වැලන්තීනා ගෑ‚ උන්දැගේ කැරැට්ටුව අපි දන්නෙ නැද්ද˜.   වැලැන්තිනා ගැන සඳහන් කරනවිට ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් කිසිවක් නොදොඩා යන්නට යයි. මේ බව දන්නා මැහැල්ල තව තවත් වැලන්තිනාට දොස් කියන්නීය. 

වැලනිත්නා හෙවත් " ගිනිකිකිළි˜ ලෙස පෙත්රොව්ස්කයා වාසීන් හැඳින්වූ වැලන්තීනා පවුලෝනා කදිම හැඩකාරියකි. ඇගේ සැමියා නාවික නිළධාරියෙකි. අත්ලන්තික් සාගරයේ සැරිසරන සෝවියට් සබ්මැරීනයක සේවය කරන ඔහු නිවෙසට පැමි‚යේ හය මසකට වරකි. විවාහ වූ මුල් වසර තුළ දී සැමියා රැකියාවට ගිය විට වියෝගයෙන් පෙළුන වැලන්තිනා පසුව පාළුව මකාගත්තේ අසල්වාසීන්ගෙනි. සාෂා, යුරා, බකලයා පමණක් නොව ඇතැම් විට මොස්කව් සිටද ඇය හමුවීමට මිතුරෝ පැමිණියහ. ඔවුහු ඇගේ නිවසේ රෑබෝවන තුරු කාඩ් ගැසූහ "සැමොවාරය˜ රත්කොට තේ බී නිවසේ සාදන ලද කේක් කෑහ. ප්‍රීතිමත්ව උස්හඬින් කථාකරන හඬ ඇසෙන මෙම නිවසට අසල්වාසිහු ඊර්ෂ්‍යා කළහ. එපමණක් නොව පද හැදීමටද අමතක නොකළහ. වැලැන්තිනා හමුවීමට මොස්කව් සිට යම් අයෙකු පැමිනි විට "ඔන්න ගිනිකිකිළිය අදත් ආදරවන්තයෙකු ගෙන්වාගෙන˜ යැයි කාන්තාවෝ එකිනෙකා සමඟ රහසේ මිමිනූහ.  

අසල්වැසියන්ගේ නිවාස අතරින් වැලන්තීනා ගොඩවැදුනේ ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් හෙවත් බකලයා සහ මැක්සිම් ඉවානවිච්ගේ නිවෙසට පමණි. ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් හමුවීමට අසල්වාසීන් විශේෂ කැමැත්තක් නොදැක්වුවද මැක්සිම් ඉවානවිච්ගේ නිවසේ නිබඳවම අසල්වාසීන් සිටිනු දැකිය හැකිය. වැදගැම්මකට ඇති රැකියාවක් නොකළද මැක්සිම් ඉවානවිච් ට මිතුරන් බොහොමයකි. එම නිසා වෙළෙඳ පොළේ හිඟ ද්‍රව්‍ය වන සීනි, සුවඳ සබන්, රෙදි සෝදන සබන් කුඩු පමණක් නොව මොටර් රථ අමතර කොටස් ද ඔහුට ගැටලුවකින් තොරව ලබාගත හැකිවිය. එම නිසා පෙත්රොව්ස්කයා මාවතේ ජනතාව යම් වෙළඳ ද්‍රව්‍යයක් හිඟයක් වූ කල මතක් වෙන්නේ මැක්සිම් ඉවානවිච්ය.  වෙළෙඳසල්වල සබන් කුඩු අහවර වූ විට කාන්තාවෝ මොස්කව් බලා යති. වරු ගණනක් පොළිමේ සිට සබන් කුඩු මිලට ගැනීමට නොහැකිවූ විටකදී ඔවුහු මැක්සිම් ඉවානවිච්ගේ පිහිට අයදිති. 

වෙළඳ සල්වල බඩුහිඟය, ඇතිවීම සඳහා වන ප්‍රධාන කරුණලෙස ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් හෙවත් බකලයා තර්ක කළේ මිනිසුන්ගේ අසීමිත මිළදී ගැනීමේ පුරුද්දය. එය නම් යම් ප්‍රමාණයක සත්‍යයකි.  වෙළෙඳසල්වල අලූත් සබන් වගයක් විකිනීමට ඇතිවිට ඒ පිළිබඳ රාවය නගරයේ පැතිර යයි. මිනිස්සු සබන් කැට තොග ගණනේ මිළට ගෙන ගෙවල ගොඩගසා ගනිති. වෙනත් ඕනෑම ගෙදරක මෙන් පෙත්රොව්ස්කයා මාවතේ නිවෙස්වලද සබන්කැට, බුරුසු, තීන්ත, වැලිකඩදාසි, දත්ඛෙහෙත් යනාදී විවිධාකාරයේ භාණ්ඩ තොග ගණනේ ගොඩගසා තිඛෙනු දැකිය හැකිය. මෙම භාණ්ඩ ඇඳන්යට, අල්මාරිවල, නානාකාමරවල ඇති ඉහළ රාක්කවල "ප්‍රව්ද්‍රා˜ පත්තරවල ඔතා ප්‍රවේශමට තබා තිබේ. එහෙත් මෙම භාණ්ඩ පාවිච්චි වෙන්නේ කලාතුරකිනි. තම නිවසේ රැස්කරගෙන තිඛෙන භාණ්ඩ එසේ තිබියදීම නැවත වෙළෙඳපොළේ තිබෙන බව ආරංචි වූ විට ඔවුහු නැවතඒ වා මිළට ගෙන ගෙතුළ ගොඩගසා ගනිති. මෙම අසාමාන්‍ය පුරුද්ද රුසියානුන්ට ඇති වූයේ කවදා සිටද යන්න කිසිවෙක් නොදනිති. "උනිවෙර්මග්˜ ලෙස හැඳින්වූ සුපිරි වෙළෙඳසල් වලට නිතරම යාමත්, එහි විකිණීමට තිඛෙන භාණ්ඩ අවශ්‍යවුවත් නැතත් මිළයට ගෙන තම නිවෙස්වල රැස්කර තැබීම මිනිසුන්ගේ පුරුද්දක් විය.  

මැක්සිම් ඉවානවිච් පමණක් භාණ්ඩ තොග ගණනේ තම නිවසෙහි ගොඩගසා ගන්නේ නැත. අවශ්‍ය කරන භාණ්ඩවල අඩුවකුත් ඔහුට නැත. ඔහුට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට ඔහුට ඕනෑතරම් සබඳතා තිබිනි. මේ සබඳතා හරහා අසල්වාසිහුද ඔහුගේ උපකාර ලබාගත්හ. උදාහරණයක් ලෙස තම දිය‚යගේ විවාහ මංගල උත්සවයට ෂැම්පේන් බෝතල් දෙසීයක් අවශ්‍ය බව අසල්වාසියෙක් මැක්සිම් ඉවානවිච්ට කරුණාවෙන් දන්වා සිටියි. ෂැම්පේන් බෝතලයක් රූබල් දහයකි. එහෙත් ෂැම්පේන් මිලට ගැනීමට හැකි සෑම ස්ථානයකම ෂැම්පේන් නැත. මැක්සිම් ඉවානවිච් හරහා එක බෝතලයක් රූබල් දොලහ බැගින් වන සේ ගෙවා ෂැම්පේන් බෝතල් දෙසීයම ලබාගැනීමට අසල්වාසියා සමත්වෙයි. මෙය තමාගේ විශේෂ ජයග්‍රහණයක් බව අසල්වැසියා සිතයි. දිය‚යගේ විවාහ මංගල උත්සවයේදී ද ඔහු තම මිතුරන් සමඟ දොඩමළුවන විට මැක්සිම් ඉවානවිච් ගැන කියන්නේ ස්තූති පූර්වක සතුටකිනි. 

  "සමගොන්˜ පෙරීමට සීනි හිඟවූ විට "ගාල්යා˜ මැහැල්ල මැක්සිම් ඉවානවිච් හමුවීමට පැමිණ ඇයට සිනී කිලෝ පනහක් අවශ්‍ය බව කියන්නීය. මැහැලියට අවශ්‍ය සිනි එදිනට ලබාදීම නොහැකිවුවද දින දෙකක් ඇතුළත එම ඉල්ලීම ඉටු කිරිමට මැක්සිම් ඉවානවිච් සමත් වෙයි. සිනි ගෙන යාම සඳහා මැහැලිය බේබදු වස්කා සමඟ පැමිණෙයි. කුලිය වශයෙන් වාස්කාට " සමගොන්˜ බෝතල් භාගයක් ලැබේ. 

වැලන්තිනාට මුහුණේ ගල්වන ආලේප සුවඳ විලවුන් සහ වයින් අවශ්‍යවූවිට ඈ මොස්කව් වෙත යාමට වඩා පුරුදුව සිටියේ මැක්සිම් ඉවානවිච් වෙත යෑමටය. අවශ්‍ය ලැයිස්තුව ඔහු අතට දෙන ඇය අත්තිකාරම් ලෙසට නෝට්ටු කිපයක්ද මිට මොළවන්නීය. එදින සවස නොවරදවාම වැලන්තිනාගේ නිවසට එම භාණ්ඩ ලබාදීමට මැක්සිම් ඉවානවිච් අමතක නොකරයි. ගණුදෙනු පියවූ පසු තේ උගුරක් බීමට වැලන්තිනා ඔහුට ආරාධනා කරන්නීය.   

පෙත්රොව්ස්කයා මාවතේ සියළු දෙනාම පාහේ මැක්සිම් ඉවානවිච් සමඟ ගණුදෙනු කළද ඔහු සමඟ එක්වරක් හෝ ගණුදෙනු නොකරන ලද්දේ බකලයා නොහොත් ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් පමණය. "මට ඔය ජාවාරම්කාරයේ පේන්න බැහැ˜ බකලයා බොහෝවිට මැක්සිම් ඉවානවිච් ගැන පවසයි. "මේවා වැරදි වැඩ. මුන් වෙළෙඳපොළේ ඇති භාණ්ඩ හංගනවා. හංගලා වැඩිමුදලට විකුණනවා. කළු කඩකාර හොරු˜ වරක් ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් චෝදනා ස්වරයෙන් අසල්වාසීන් ඉදිරියේදී පැවසීය. 

බකලයා තමන්ට දොස්පවරන බව මැක්සිම් ඉවානවිච් දැනසිටි බව සහතිකය. එහෙත් ඔහු ඊට උරණ නොවීය. ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් හමුවූ හැමවිටම තම හිස්වැසුම ඔසවා ඔහුට ආචාර කිරිමට මැක්සිම් ඉවානවිච් පුරුදුව සිටියේය. මැක්සිම් ඉවානවිච්ගේ සුභාසිංසන පිළිගන්නා අතර ඔහුට දොස්කීමටද බකලයා අමතක කළේ නැත.  "මුන් වගේ එවුන්ව හිරේ ඔන්න ඕනෑ. ඉස්සර මේ වගේ කළුකඩකාරයන්ව එල්ලා මැරුවා. දැන් නීති රීති දියාරුයි. පොලිසියේ ලොක්කත් පගා ගන්නවා. එහෙව් එකේ මේ වගේ කළුකඩ කාරයන්ට පාඩමක් උගන්වන්නේ කොහොමද?˜ බකලයා එලෙස කීවේ සිමියොන් නැමති අසල්වාසියා සමගිනි.   කටකාර කේලාම්කාරයෙකු වන සිමියොන් මේ සිද්ධිය මැක්සිම් ඉවානවිච් ට පැවසුවේය. එහෙත් ඔහු ඒ පිළිබඳව සැලූනේ නැත. "මම කරන කළුකඩ වෙළඳාමක් නැහැ˜ ඔහු කෙටියෙන් සිමියොන්ට පිළිතුරු දුන්නේය.

   මෙවර ගීත සමයේ දරුණු පෙට්‍රල් හිඟයක් ඇතිවිය. කළුකඩයේ පවා පෙට්‍රල් අතුරුදහන් වී තිබු‚. පෙට්‍රල් හිඟයෙන් පීඩාවිදි අසල්වාසීහු මැක්සිම් ඉවානවිච්ගේ පිහිට පැතූය. පෙට්‍රල් හිඟය නිසා ඊගර් ඇලෙක්සැන්ද්‍රවිචි මුහුණ දුන්නේ දැඩි අපහසුතාවයකටය ඔහුගේ අළුත්ම "ලාඩා˜ මොටර් රථය හිමවලින් වැසී ගියේය. රථයේ එන්ජීම දිනකට වරක් හෝ පණගැන්වූයේ නැති නම් බැටරිය බසිනු ඇත. බැටරිය බැස්සේ නම් අළුත් බැටරියක් සෙවීමද ලෙහෙසි පහසු වැඩක් නොවේ. පෙත්රොව්ස්කයා මාවතේ වාසීන්ට තමාට මෙන් පෙට්‍රල් හිඟයක් හෝ වාහන සම්බන්ධයෙන් කිසිම කරදරයක් නොමැති බවද පෙනී ගියේය. පුදුමයකි. මෙලෙස දස අතේ කල්පනා කළ ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් මැක්සිම් ඉවානවිච් හමුවීමට අවසානයේදී තිරණය කළේය. 

  "ආයුබෝවන් මැක්සිම් ඉවානවිච්˜ කියමින් කඳ නමා ඔහුට ආචාර කළ බකලයා මැක්සිම් ඉවානවිච්ගේ නිවසට ගොඩ වැදුනි.  "එන්න, එන්න, ඇවිත් වාඩිවෙන්න˜ කියා මැක්සිම් ඉවානවිච් තම අසල්වැසියට ආරාධනා කළේ විශ්මයෙනි. හොඳට සැපපහසු පුටුවේ වාඩිවි ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් දුම්වැටියක් දල්වා ගත්තේය. ඉන්පසු ඔහු දේශපාලන කථාවක් ආරම්භ කළේය. 

 "මැක්සිම් ඉවානවිච් දන්වද කෘෂෙප්ගේ කාලයේ බඩ ඉරිඟු වගාව රටේ පැතිරුණා. අපි ඛනිජ තෙල් ගවේෂණය ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. බොරතෙල් බැරල් එක කොපෙක් තුන ගානේ අපි කියුබාව ඇතුළු මිත්‍ර රටවලට සහනාධාර වශයෙන් දෙනවා. අපේ රට ස්වාභාවික  සම්පත් වලින් අනූනයි. දැන් බලන්න මිත්‍රයා කළුමුහුදේ කොච්චර අපට තෙල් තියෙනවද? ඒත් ඒවා බේහැරීම අපේ නිළධාරි වාදය ඉඩදෙනවද?   මෙය අසා සිටි මැක්සිම් ඉවානවිච් කථාව අනුමත කරන නියායෙන් ඔහුගේ හිස සැලීය. ඉන් තවත් උනන්දු වූ ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් තම කථාව දිගටම කරගෙන ගියේය.   "ඉන්ධන බෙදාහැරීම පමණක් නොවෙයි, අනිකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම පවා අපේ නිලධාරිවාදය කඩාකප්පල් කරනවා. දැන් බලන්න, බ්‍රෙෂ්නෙව් සහෝදරයා කොච්චර වෑයම් කළාද රට සංවර්ධනය කරන්න. ඒකට අපේ හැත්ත බාධා කළා. දැන් ඒ දේම ගොර්බචොෆ් සහෝදරයාටත් කරනවා. මෙහෙම ගියොත් රට කඩා වැටේවි. දවසින් දවස බඩු මිල ඉහළ යනවා,...˜   

ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් තම දේශපාලන කථාව කරගන යන අතරතුර වැලන්තිනා පැමිණ අළුත්ම වර්ගයේ සුවඳ විලවුන් සඳහා ඇනවුමක් බාර දුන්නාය. ඒ අතරතුර ගල්යා මැහැල්ලට අවශ්‍යය තිබුණු සිනී තොගයක් ගෙන යාමට බේබදු වාස්කා පැමි‚යේය. තම ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉටු කරද්දී පවා බකලයාගේ දේශනාව හමාරවුයේ නැත.  ඔහුගේ දේශනය අවසන් අදියරට පැමිණෙත්ම සිමියොන් පැමිණ දත්ඛෙහෙත් පැකට්ටු තොගයක් ඉල්ලා සිටියේය. සිමයොන්ගේ අවශ්‍යතාව ඉටුකරනු වස් මැක්සිම් ඉවානවිච් ගේ ඇතුළට ගිය අතර එයින් රජයේ අභ්‍යන්තර කටයුතු නිළධාරියෙකු වූ ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් හෙවත් බකලයාගේ දේශනය හමාර විය.  

 සිමියොන් තම අවශ්‍යතාව ඉටුකරගෙන පිටවූ වහාම ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච්ගේ කථා ස්වරය වෙනස්විය. ඔහු හිතමිත්‍ර ලීලාවෙන් මැක්සිම් ඉවානවිච් ගෙන් උපකාරයක් අයැද සිටියේය.  තේරෙනවනේ මැක්සිම් ඉවානවිච්, මේ දවස්වල පෙට්‍රල් හිඟය, මෙහෙම ගියොත් මගේ වාහනය කොටඋඩ තමයි තියන්න වෙන්නේ. මට කොහෙන් හරි පෙට්‍රල් ලීටර සීයක් ඕනෑ. මෙන්න මෙතන සල්ලි තියෙනවා. මදිපාඩු උනොත් කියන්න. මම තව සල්ලි දෙන්නම්.˜  

 මැක්සිම් ඉවානවිච්ගේ මුවගට මදසිනාවක් නැඟිණි. "ඒක සුළු දෙයක්නේ, ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් හෙට දවල් වෙනකොට මම පෙට්‍රල් ටික ගෙනල්ලා දෙන්නම්. සල්ලි පස්සේ ගන්න පුළුවන්˜  

 මෙම සංවාදයෙන් පසු ඊගර් ඇලෙක්සැන්ද්‍රවිච් ආපසු තම නිවසට පැමිණියේ අධික ප්‍රිතියෙනි.   "මැක්සිම් ඉවානවිච් තමයි මිනිහා. දැන් ගොර්බචොෆ් කියනවා වගේ අපට අවශ්‍ය ආර්ථීක ප්‍රතිසංස්කරණ, වෙළෙඳ ආර්ථීකය, අපට අඟහරු ලෝකයට යන්න පුළුවන්. එAත් වෙළෙඳපොළේ දත්ඛෙහෙත් නැහැ. පෙරෙස්ත්‍රොයිකා ග්ලාස්නත්ස් මේ මොනදෙයක් උනත් කමක් නැහැ අපට අවශ්‍ය බඩු ටික ලැබෙනවනම්....˜   

උද්දාමයට පත්වූ ඊගර් ඇලෙක්සැන්ද්‍රවිචි ව්ලැදිමීර් විසෝස්කිගේ ගීයක් මුමුණන්නට විය.






















 

 

5 comments:

  1. සම්පුර්ණ ඇත්ත . මේක තමා උනේ.

    ReplyDelete
    Replies
    1. අජිත් මම හිතන්නේ මිනිසුන් ගේ අසීමිත මිලදී ගැනීම් නිසාත් බඩු හිඟයක් ආවා. හිතන්න නගරයක මිනිසුන් සියළුම දෙනා කඩවල තිබෙන සබන් කැට දහය ගානේ එකවර මිලදී ගත්තා කියලා. එතකොට කෘතිම සබන් හිඟයක් ඇතිවෙනවා. ලංකාවේ ඒවගේ දෙයක් 1977 පස්සේ සිදු උනේ නැත්තේ එකවර බල්ක් මිලදී ගැනීමට මිනිසුන්ට මුදල් නැතිවීම ඒ වගේම සිල්ලර කඩ විශාල ප්‍රමාණයක් තිබීම නිසා අඛන්ඩ සැපයුමක් තිබීම​.

      Delete
    2. ගොර්බගේ කාලේ රුසියාවේ අවුරුදු 6කට මම එකම එක දවසයි, කඩේක ටොයිලට් පේපර් රෝල් දැකල තියෙන්නේ, ඇත්තටම කඩේ ඇතුලේ තියනවා නෙවෙයි, වෙනදාට වඩා ගෝෂාවක් පල්ලෙහායින් ඇහෙන නිසා ජනේලෙන් බලනකොට දැක්කා ටොයිලට් පේපර බන්ඩල් කීපයක් පාරෙ දිගේ යනවා, මනුස්සයා වැහිලා අරගෙන තිබුන තොගයට. ජැකට් දාගෙන පල්ලහාට දුවනකොටත් බඩු ඉවරයි, පෝලිම විසිර යනවා ෆිල්ම් එකක් ඉවර වෙලා මිනිස්පු යනවා වගේ සෙනග. කඩේ සේල්ස්වුමන් දියවුෂ්කාට පුංචි පුංචි තෑගී කල් තියා දිලා තිබුන නිසා, දවස් කීපයකින් මටත් ටෝයිලට් පේපර් බණඩලයක් කාමරේටම ආවා, මාසයක් විතර ප්‍රව්දා පත්තරේ සුමට කරන එක කරන්න පුළුවන් උනා. කොලබ ගමයට සමගොන් සීනි කොමෙන්ට් එකක් දැම්මා විතරයි, මෙන්න රුවන් වඩා පැහැදිලිවට ලියලා.

      Delete
    3. රුවන්මේක ලියල තියෙන නිසා තමා මම අඩුවෙන් ලිව්වේ.

      Delete
  2. в социализме вы не купите, вы найдете

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook